මුදල් නොවේ වැදගත් ජීවිතයේ සතුටයි

ජනවාරි 15, 2020

ශිරෝමි මාසකෝරාල

සාමාන්‍යාධිකාරී, තිරසාරත්වය සහ සමූහ සන්නිවේදනය

හේමාස් හෝල්ඩිංග් සමාගම

විධායක අධ්‍යක්ෂිකා, හේමාස් ‘අවුට්රිජ්’ පදනම

විධායක අධ්‍යක්ෂිකා, ‘ආයතී’ භාරකාර මණ්ඩලය

 

“තොටිල්ල පදවන අත ලොව රජ කෙෙර්ය” යන කියමන වඩාත් තහවුරු කරමින් වර්තමානය වනවිට ලෝකයේ ප්‍රමුඛත්වයට පත්වූ කාන්තා චරිත බොහෝය.

විශේෂයෙන්ම අපේ පුංචි ශ්‍රී ලංකාව තුළ ද කැපී පෙනෙන දක්ෂතා දක්වන කාන්තාවන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර මේ වනවිට බොහෝ ආයතනවල මුල්පුටු හොබවන්නේ ද කාන්තාවන්මය.

එවැනි කාන්තාවන්ගේ අපූර්ව දිවි ගමන ගැන ඔබට කියනා ‘ජීවිතය අර්ථවත් කළ ඇය’ විශේෂාංගය වෙත කැඳවූ ඕ ශිරෝමි මාසකෝරාල. හේමාස් හෝල්ඩිංග් සමාගමේ සාමාන්‍යාධිකාරී (තිරසාරත්වය සහ සමූහ සන්නිවේදනය) තනතුර සේම හේමාස් ‘අවුට්රිජ්’ පදනමේ සහ ‘ආයතී’ භාරකාර මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා ධූරයන් ද හොබවන ඇය යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙසින් ද කටයුතු කරන්නීය.

මුදල් මත යැපෙන සමාජයක මුදල නොව ජීවිතයේ සතුට වඩා වැදගත් යැයි සැමවිටම සිතනා ශිරෝමි සිය සතුටින් පිරුණු ළමාවිය නිසාම සතුටු තුරුණු වියක් ද හිමිවූ බව කියන්නීය.

එබැවින් ඇය අද තෘප්තිමත් පුරවැසියකු ලෙසින් ජීවිතය දෙස බලන අතර ඇයගේ තුටින් පිරුණු ජිවිතයට මඟ හෙළි කරගත් ආකාරයයි මේ.

ළමාවියේ අඩිතාලම

“බෞද්ධයෙක් විදිහට මම හිතන දෙයක් තමා හොඳ පවුලකට දාව උපත ලැබීමත් වාසනාවක්. ඇත්තටම මට හොඳ මවුපියෝ ලැබුණා. මගේ තාත්තා ලංකාවේ බොහෝදෙනෙක් දන්නා ශල්‍ය වෛද්‍යවරයකු වූ බෙනට් මාසකෝරාල. ඔහු හරිම සරල, ජීවිතයේ වටිනාකම් හොඳින් හඳුනාගත් පුද්ගලයෙක්. මගේ අම්මාත් එහෙමයි. ඇය බන්දු මාසකෝරාල. ඔවුන් හරිම ආදර්ශවත් ජීවිතයක් ගත කළේ.

මගේ අම්මා හැමවෙලාවෙම කිව්වෙ මගේ දරුවෝ මාලිගාවේ වාගේම පැල්පතක වුණත් ඉන්න විදිහ ඉගෙනගන්න ඕනේ කියලයි. ඒ කියන්නෙ ජීවිතයේ දුක, සැප දෙකම සමව විඳ දරාගන්නට හුරුවිය යුතුයි කියන එක.

පුංචි කාලේ අපි හරියට විනෝද චාරිකා යනවා. විශේෂයෙන්ම පාසල් නිවාඩු වාර තුනටම අපි ඇවිදින්න ගියා. අප්‍රේල් නිවාඩුවට අනිවාර්යයෙන්ම ගමට ගියා අවුරුදු චාරිත්‍ර ඉටුකරන්න. වෙල් එළියේ දුවපැනලා, ගඟේ නාලා පුදුම සතුටක් ලැබුවා වගේම අපේ සංස්කෘතිය ගැන ඉගෙනගන්න හොඳ අවස්ථාවක් ලැබුණා.

 

2020/01/15 තරුණි බලන්න