දම්මි පළමුවරට හොරණ තක්ෂිලාවට යයි

ජනවාරි 29, 2020

 

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදර යයි කියා
පවුරු බැඳගෙන සිතක වැජඔුණු
රසවතී ඈ කොයි ගියා
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි...

 

ජීවිතයේ මැදි වයස පසුකරනා ඕනෑම පුද්ගලයකුගෙන් ජීවිතයේ සුන්දරම අවධිය පිළිබඳ විමසුමක් කළහොත් නොපැකිල ඔහුගේ/ඇයගේ පිළිතුර වන්නේ පාසල් අවධිය යන්නයි. ඒ තරමටම පාසල් සමය අපේ සිත් තුළ නොමැකෙනා මතක ඉතිරි කළ සුන්දරම අවධිය වන බැවිනි.

පාසල සේම පාසල් වියේ ප්‍රේමය ද බොහෝදෙනකුට තව අදටත් සිත් පතුලේ නිදන් වූ අරුමැසි මතකයකි. මේ ආදරණීය පාසල් පේ‍්‍රමය කවි, ගීත, නවකතා, කෙටිකතා, චිත්‍රපට, ටෙලිනාට්‍ය සඳහා එදා සේම අදටත් තේමා සපයයි.

ඒ පිළිබඳ ලියැවුණු වඩාත් සංවේදී සේම බෙහෙවින් ජනාදරයට පාත්‍රවූයේ කරුණාසේන ජයලත් සූරීන් විසින් රචිත ‘ගොළු හදවත’ නවකතාවයි. මේ ගොළු හදවත චිත්‍රපටයකට නඟා දැනට වසර 53 ක් ගතවී ඇතත් බොහෝදෙනකුගේ සිත් තුළ දම්මි මෙන්ම සුගත් අදට ද ජීවමානය.හිටිහැටියේම ගොළු හදවත පිළිබඳ මෙලෙස සටහනක් තබන්නට සිත්වූයේ අපූරු සිදුවීමක් මුල්කරගනිමිනි. එනම් ගොළු හදවතේ දම්මි-සුගත් ආදර අන්දරයට මුල් වූ හොරණ තක්ෂිලා විදුහලට වසර 53 කට පසුව දම්මි පැමිණියා යැයි ලැබුණු ආරංචියෙනි. එය මුසාවක් නොවේ. ගොළු හදවතේ දම්මිට ජීවය ලබාදුන් අපේ ආදරණීය රංගන ශිල්පිනිය අනුලා කරුණාතිලක සිය ජීවිතයේ මුල්වරට පසුගියදා හොරණ තක්ෂිලාවට ගොඩ වැදුණාය.

ඉතින් ඈ ගිය ඒ ගමන ගැන සේම ඇයගේ අලුත්ම තොරතුරු පිළිබඳ විමසන්නට අපි ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා කරුණාතිලක ඇමතුවෙමු.

ඉතින් කොහොමද ? මොනවද අලුත් තොරතුරු ?

“මම ඉතින් වෙනදා වගේම සුවෙන් ඉන්නවා. දැන් මට වයස අවුරුදු 75 ක්. (ජනවාරි 22 වැනිදා ඇයගේ උපන්දිනයයි) දැන් අවුරුදු හයක විතර ඉඳන් මම පදිංචි වෙලා ඉන්නෙ මාතර. මගේ මහත්තයා දයාගේ මහගෙදර. මේ එයා ඉපදුණු හැදුණු වැඩුණු නිවෙස.

දැන් මමයි, අපේ චූටි පුතයි, එයාගේ නෝනයි, බබයි තමයි මේ ගෙදර ඉන්නෙ.

මම ආයෙත් මිත්තනියක් වුණා. මගේ පොඩි පුතාට පුතෙක් ලැබුණා. දැන් මාස පහයි. මගේ කාලය සම්පූර්ණයෙන් වැය වෙන්නෙ එයා එක්කමයි. මේ දැනුත් එයාගේ චුටි ඇඟිලිවලින් මගේ ඇඟිල්ලක් අල්ලගෙන මම කතාකරන දිහා බලාගෙන ඉන්නවා.”

එතකොට ලොකු පුතාගේ විස්තර ?

“මගේ ලොකු පුතා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාටත් පුතාලා දෙන්නෙකුයි. දියණියකුයි, ඉන්නවා. ඉතින් මම දැන් මුනුපුරු, මිනිබිරියෝ හතරදෙනකුගේ ආදරණීය අත්තම්මෙක්.”

මේ දිනවල යෙදෙන කලා කටයුතු පිළිබඳ මතක් කළොත් ?

“ඇත්තටම කිව්වොත් මම දැන් කලා කටයුතුවලින් බොහෝදුරට ඈත් වෙලා. නිදහසේ පැත්තකට වෙලා ඉන්න තමයි වැඩියෙන්ම කැමැති. විශේෂයෙන්ම මගේ දණහිසේ ආබාධය මතුවුණාට පස්සෙ රඟපෑමෙන් තරමක් ඈත් වුණා.

පසුගිය දිනවල තිරගත වුණු ‘රෂ්’ චිත්‍රපටය තමයි අන්තිමට කළේ.”

 

අපි පොඩ්ඩක් අතීතය ගැන මතක් කරමු

“මම සිනමාවට පිවිසුණේ 1962 වර්ෂයේ. ගම්පෙරළියේ ලැයිසාගේ චරිතය තමයි මගේ මුල්ම රංගනය. ඊට පස්සේ ‘රන්සළු, පරසතුමල්, චණ්ඩියා, බක්මහ දීගේ, මොකද වුණේ, මීමැස්සෝ, ගොළු හදවත” වාගේ චිත්‍රපට බොහොමයක රඟපෑවා. මේ අතරින් ගොළු හදවතේ දම්මිගේ චරිතයට හැමෝම ආදරය කළා. අදටත් ආදරය කරනවා.”

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

නිශ්ශංක විජේරත්න

ඔෂාන් පියුමන්ත

2020/01/29 තරුණි බලන්න