සුනාමි රූගත කිරීම් වලදී මට මතක් වුණේ මගේ දියණියයි

ජනවාරි 29, 2020

හිමාලි සයුරංගි

‘දෙසැම්බර් 26’ ශ්‍රී ලාංකේය අපට ඛේදනීය මතකයක් උරුම කළ දිනයකි. දහස් ගණනකගේ ජීවිත එක් නිමේෂයකදී චණ්ඩ වූ රළ ගොඩගලා නැතිවී ගිය ජීවිත දහස් ගණනකි.

බිඳී විසිරුණු දරු දුක හද දැරු මවුවරු මෙන්ම පියවරු ඇතුළු පවුල් ගණන ද ඒ තරම්ය. මාපිය සෙනෙහස අහිමිවූ දරුවන් තවමත් ජීවත් වන්නේ කඳුළු මතකයන් සමඟිනි.

ඒ මතකය යළිත් අවදි කරමින් සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සුනාමි’ සිනමා සිත්තම පසුගියදා දිග හැරුණි.

සුනාමියෙන් අතුරුදන් වුණු දියණියක් වටා ගෙතුණු මේ සිනමාපටයේ මවගේ භූමිකාවට රංගනයෙන් දායක වන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඇය හිමාලි සයුරංගි.

පසුගියදා සිංහල සිනමාවට එකතුවුණ සුනාමි චිත්‍රපටය ගැන කතා බහ කරන්නට තරුණි සමඟින් ඇය මෙලෙසින් දොඩමලු වුණා.

මේ දවස්වල කලා කටයුතුවලට කාලය වෙන් කරලා තියෙන්නේ කොහොමද?

මේ දිනවල දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රුගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම අලුත් චිත්‍රපටයක රුගත කිරිම් ආරම්භ කළා.

කොහොමද සුනාමි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ?

ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ‘කවිය නුඹ’ ටෙලි නාට්‍යයෙන් මට හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ මීට අවුරුදු 10 කට කලින්. ඒ ජයග්‍රහණය දැකපු සෝමරත්න සර් මට ඒ දවස්වල කිව්වා ඔහු කරන චිත්‍රපටයක චරිතයකට මට දිනෙක අවස්ථාව ලබා දෙනවා කියලා. ඔහුගේ ඒ වචනය තමයි මට සුනාමි ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා කර දුන්නේ. මං හිතන්නේ ඔහු එදා ඒ කියපු දේ මතක තියන් ඉන්න ඇති.

‘සුනාමි’ හි ඔබේ චරිතය ගැන කතා කළොත්?

මම කරන්නේ ශ්‍රියානිගේ චරිතය. ඇගේ සැමියාට රඟපාන්නේ බිමල් ජයකොඩි. ඔවුන් දෙපළ තම කුඩා දරුවා ද සමඟ මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ අතර තුර සුනාමි රළට මෝටර් රථය ගසාගෙන ගොස් දරුවා අතුරුදන් වෙනවා.

තමන්ගේ දරුවා සොයා යන අතරතුර තමන්ගේ දරුවා යැයි සිතිය හැකි දියණියක හමුවෙනවා. කාලයක් ගත වී දරුවා උස් මහත් වූ පසුව ඇය අහඹු ලෙස දෙමළ භාෂාව කතා කිරීමත්, වෙනත් මවුපියන් දෙදෙනෙක් ගැන කතා කරන්නටත් පටන් ගන්නවා. මේ පුවත දැනගත් දෙමළ යුවළක් මේ දියණියගේ සැබෑ අයිතිය ඉල්ලනවා.

මවුපියන් දෙපිරිසකට මැදි වු දරුවෙක්ගේ කතාවක් මේක. මේ ආරවුල විසඳීමයි කතාව තුළ ගලා යන්නේ.

මෙවන් සංවේදී චිත්‍රපටයක රඟපාන්න ලැබීම මොන වගේ අත්දැකීමක් ද?

මමත් අවුරුදු 5 ක දියණියක් ඉන්න මවත්. රූගත කිරීම්වලදී මට මතක් වුණේ මගේ දුවව. මම දන්නවා මගේ දරුවව උස්මහත් කරන්න විඳපු දුක. ඒ කැප කිරීම. දරුවකු කියන්නේ අම්මෙක්ට මුළු ලෝකයම. අම්ම කෙනෙකුට දරුවකුගෙන් එහා ලෝකයක් නැහැ.

ඉතිං මේ කතාවේ අම්මල දෙන්නම සැබෑ මවුවරුන්. ඒ අම්මල දෙන්නා දිහා බලපුවම ලොකු දුකක් දැනෙනවා. සුනාමිය නිසා මවුවරු කීදෙනෙක්ට නම් තම දරුවන් අහිමි වෙන්න ඇත්ද? දරුවන් කී දෙනෙක්ට මවුවරු අහිමි වෙන්න ඇත්ද? ඒ වගේ දෙයක් මට වුණොත්.... ඇත්තටම මට නම් ඒක හිතන්නවත් බැරි දෙයක්.

ඔබ එකිනෙකට වෙනස් චරිත කරන කෙනෙක්. ඔබ චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?

චරිතයට වඩා මම සැලකිලිමත් වෙන්නේ පිටපත සහ අධ්‍යක්ෂවරයා ගැනයි. ඕනෑම සිනමාපටයක් හෝ ටෙලිනට්‍යයක ගුණාත්මකබව තීරණය වෙන්නේ පිටපත සහ අධ්‍යක්ෂවරයාගේ හැකියාව මතයි.

අධ්‍යක්ෂකගේ නිවැරැදි මඟ පෙන්වීම තුළින් ඕනෑම චරිතයක් කරන්න පහසු වෙනවා වගේම ඒ චරිතය විශේෂ චරිතයක් විදිහට ඉදිරියට ගන්නත් පුළුවන්.

සෝමරත්න දිසානායක වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ...

‘සුනාමි’ කියන්නේ වසර ගණනකට පස්සේ මට ලැබුණු විශිෂ්ට සිනමාපටයක්. ‘සිකුරු හත’ තිරගත වුණාට පස්සේ මම බොහොම ආසාවෙන් බලන් හිටියත් කිසිම අධ්‍යක්ෂකවරයෙක් මගෙන් වැඩක් ගත්තේ නැහැ. ඒ සිනමාපටය නිසා නැගී එන නිළිය සම්මානය දිනා ගන්න හැකි වුණා. ඒ අවුරුදු 7 කට කලින්. ඉන්පසු එවන් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මම ඒ ගැන හරියට දුක් වුණා. නමුත් මගේ වාසනාවකටදෝ ‘සුනාමිය’ට මාව මතක් වුණා. සෝමරත්න සර්ට ඒ ගැන අනේකවාරයක් ස්තුති කරනවා.

සෝමරත්න දිසානායක සර් ගැන කිව්වොත් අපිට තිබුණේ රඟපැම ගැන හිතන්න විතරයි. ඊට එහා අපිට කිසි දෙයක් ගැන හිතන්න තිබුණේ නැහැ. කෑම බීම වල සිට නවාතැන්, ප්‍රවාහන පහසුකම් මේ සියලුමදේ ගැන ඔහු සැලකිලිමත්. ඉතිං නිදහස් මනසකින් ඒ චරිතවලට හැඩගැහෙන්න පහසු වුණා. ඇත්තටම හරිම සතුටින් තමයි රූගත කිරීම් කළේ.

ඔබ හඬකැවීම් ශිල්පිනියක මෙන්ම නිවේදිකාවක ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා.

ඔව්. මම වෙළෙඳ දැන්වීම්, නාට්‍ය හඬකැවීම්වලටත් එකතු වෙනවා. මගේ රූගපෑම වුණත් තිව්‍රව පේන්නේ මගේ කට හඬ සහ දෙබස් ඉදිරිපත් කිරිමේ ස්වභාවය නිසා. ගුවන් විදුලියේ ඟඩකැවීම කියන්නේ වෙනස්ම මාධ්‍යයක්. මම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් නිසා හඬකැවීම්වලටත් නිතර ආරාධනා ලැබෙනවා. ඉතිං ඒවාටත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව විවිධ වැඩසටහන් සහ උත්සවවලට නිවේදිකාවක් ලෙසත් මම නිතරම සම්බන්ධ වෙනවා.

අපි හැමදාම අපි තුළ තියෙන හැකියාව හොයාගන්න ඕනේ. මට කරන්න පුළුවන් දේවල් මම උත්සාහ කරල බලනවා. මට ගායන හැකියාවත් තියෙනවා. ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න අවස්ථාව ලැබුණාම මම ඒවටත් සම්බන්ධ වෙනවා. මට හොඳට ලියන්නත් හැකියාව තියෙනවා. ගිීත ලියන්නත් පුළුවන්. ඒ හැකියාවන් වලිනුත් යමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මතකද හා හා පුරා කියලා කැමරාවක් ඉස්සරහ රඟපාන්න පටන් ගත්ත විදිය?

මොකද මතක නැත්තේ. ඒක හර්බට් රංජිත් පිරිස් මහත්තයගෙ නාට්‍යයක්. ‘වාඩිය’ තමයි නම. එතකොට මගෙ වයස අවුරුදු 11 ක් විතර වෙනවා. මේ අවස්ථාව ලැබණෙත් හරි අහම්බයකින් වගේ.

කොහොමද මේ අවස්ථාව ලැබුණේ?

සුරංගි රුවන්මාලි අක්කා නිසා තමයි මට ඒ අවස්ථාව ලැබණෙ. ඇය රංගන ශිල්පිනියක්. හදිසියේම ඇගෙ චරිතෙට නංගි කෙනෙක් ඕනෙ වෙලා තිබුණා. ඇය මගේ අසල්වැසියෙක්. ඉතින් ඒ නිසා ඇවිත් මට කතා කළා. එතකොට මම නිදිලු. මම නිදි අතරෙම ඇවිත් බලලා උදේට එන්න කියලා ගිහින්.

ඒ වෙනකොට රඟපාන්න කැමැත්තක් තිබුණාද?

ඔව්. මට උප්පත්තියෙන්ම රඟපාන්න හැකියාව ලැබිලා තිබුණාද කොහෙද? රඟපාන්න මම හරි කැමැතියි. ඒ නිසා පාසලේ මම නාට්‍යවල පවා රඟපෑවා. ඒ හැම තැනදීම මට මුල් තැන ලැබුණා. ඒ නිසා කැමරාව ඉස්සරහ රඟපාන්න මට කිසිම අපහසුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ දෙවෙනි ඉනිම දක්වා ටෙලි නාට්‍ය රැසක රඟපාන්න අවස්ථාව ලැබුණා.

 

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

2020/01/29 තරුණි බලන්න