උඩු ගුවනේ වැඩිම කාලයක් ගත කළ ක්‍රිස්ටිනා කොක්

පෙබරවාරි 26, 2020

සමාජ බාධකත්, සුන්දරකමත්, සියුමැලි බවත් නිසා කාන්තාව වැඩි කාලයක් රජ කළේ මුළුතැන් ගෙයි පමණයි. එහෙත් ඇය දිරියෙන් සවිමත් වී නැණ නුවණින් ද හැඩ රුව සරසා ගත් පසු රට රාජ්‍යවල පමණක් නොව උඩු ගුවනේ ද රජ කරන්නීය.

තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක් අත ළඟටම පැමිණ තිබියදී සමස්ත කාන්තා පරපුරටම උඩු ගුවනින් මිහිමතට සුබම සුබ ප්‍රවෘත්තියක් රැගෙන ආවේ ක්‍රිස්ටිනා කොක්ය.

ක්‍රිස්ටිනා හැමොක් කොක් යනු අමෙරිකානු ජාතික ඉංජිනේරුවරියකි. ඒ වාගේම නාසා ගගනගාමිනියකි. ඇය වාර්තාගත දින 328 (මාස 11 කට ආසන්න කාලයක්) එක දිගට උඩු ගුවනේ ගත කර පෘථිවියට පැමිණියේ උඩු ගුවනේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව බවට පත් වෙමිනි. මීට ප්‍රථම ඒ වාර්තාවට හිමිකම් කීවේ අමෙරිකානු ගගන ගාමිනියක වූ පෙගී විට්සන්ය.

රුසියානු සෝයුස් අභ්‍යවකාශ යානයෙන් ඇය කසකස්තානයේ හිමෙන් වැසුණු තණ බිම් මතට පා තැබුවේ පෙබරවාරි මස හය වැනි දිනයි.

“මට හරිම සතුටුයි. අතීත වීරවයන්ගේ, වීරවරියන්ගේ අඩි පාරේ යමින් ගෞරවයක් ලබා දෙන්න හැකි වුණා. ඊළඟ පරපුර මාව ආදර්ශයට අරන් අභ්‍යවකාශ චාරිකාවේ යෙදෙනවාට කැමැතියි.

පුංචි කාලයේ සිට සිහින මැව්වේ ගගනගාමිනියක් වෙලා ගෞරවනීය චරිතයක් වෙන්න.” සිය ගමන ඇය ලොවටම ආදර්ශයක් ගෙන දෙන වදන් පෙළක් බවට පත් කළේ එලෙසයි.

ක්‍රිස්ටිනා සිය අභ්‍යවකාශ චාරිකාවේදී පෘථිවි කක්ෂය වටා ගමන් වාර 5,248 ක් සම්පූර්ණ කළාය. ඇය කිලෝමීටර මිලියන 223 ක් (සැතපුම් මිලියන 139 ක්) ගොස් ඇති අතර එය පෘථිවියේ සිට සඳට වාර 291 ක් යාමට සමානය.

මිහිතලයේ පමණක් නොව විශ්වයේ කොතැනට ගියත් ගැහැනියකගේ ලෝකය නිවෙසයි. ක්‍රිස්ටනා ගම් බිම් බලා ගියේ උඩු ගුවනේ සැරි සැරුවාටත් වඩා සැහැල්ලුවෙනි. ඇය නිවෙසට යන විට සැමියා රොබට් කොක්, මිතුරු මිතුරියන්, පවුලේ අය, අසල්වැසියන් මුළුතැන්ගෙය ඇය කැමැති ආහාර පානවලින් පුරවා තිබිණි. මේ සියල්ලටම වඩා ක්‍රිස්ටිනා සතුටු වූයේ ඇය විසින් සාදා ගනු ලැබූ අනාථ සුනඛ සුරතලිය සැඩී, ඇය නිවෙසට ඇතුළත්වීමට පෙර වීදුරු දොරින් දුර සිටම හඳුනා ගැනීම නිසයි. සුනඛ සුරතලිය ක්‍රිස්ටිනා පිළිගන්නා වීඩියෝව මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවිවල අනුගාමිකයන් ආදරයෙන් බෙදා හදා ගන්නකි.

ගුවනේ කෙතරම් ඉහළට ගියත් සොබා අසිරියෙන් පිරි පෘථිවියත්, සොඳුරු මිනිසුන්ගෙන් සහ සතුන්ගෙන් ජීවය ලබන මහී කාන්තාවත් දකින තුරු ක්‍රිස්ටිනාට ඉවසිල්ලක් නොතිබිණි. පෘථිවියට පැමිණෙන්නට මුල පිරූ මොහොතේ සිට ඇය කළේ ගගන යානාවේ කවුළුවෙන් නිතර අවට නැරැඹීමය. “යන්තම් ඇති, අපි දැන් ඉන්නෙ මහ පොළොවේ” යන වදන් කුඩා දැරියක මෙන් ඉහවහා ගිය ප්‍රීතියෙන් කෑ ගසා පළ කළේ ඒ ඉවසීමක් නැතිකම නිසාය.

 

2020/02/26 තරුණි බලන්න.