මේ දිනවල වේදිකා නාට්‍යයකට සූදානම් වනවා

- ශි‍්‍රයානි
මාර්තු 11, 2020

කාන්තාව සමාජය තුළ සිටින සුවිශේෂීම හා සුන්දරතම සම්පතයි. ඉතා ඈත අතීතයේ සිටම වර්තමානය දක්වාම කවීන්, සිත්තරුන් හා සිනමාවේදීන් ආදී වූ කලාකරුවන්ගේ බොහෝ නිර්මාණවල අවශ්‍ය සොඳුරු පෙර නිමිත්ත වූයේ කාන්තාවයි. ඇය සිනමාවට, රංගනයට ප්‍රවිශ්ට වීමෙන් කලාවට නව හැරවුම් ලක්ෂ්‍යයක් එක්විය.

කලා ලොවේ නමක් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිනී ප්‍රතිභා පූර්ණ ශි‍්‍රයානි අමරසේන, නව පරපුරේ රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා සහ ළමා නිළි සංයුමි නිම්නාදි වන ඇයත් මේ නියෝජනය කරන්නේ අපූරු යුග තුනකි. කාන්තා දිනයට අරුතක් එක් කරමින් මෙවර තරුණී කවරය හැඩවන්නේ ඔවුන්ගේ රුවෙනි.

සමාජයට ආදර්ශයක් ලැබෙන චරිත කරන්න කැමැතියි

- ශ්‍රීයානි අමරසේන

ඇය වරෙක රංගන ශිල්පිනියක්.. තවත් වරෙක නිෂාපාදකවරියක්. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මේ සියලු තැන්හිදී ඇය ප්‍රේක්ෂකයින්ගේ ආදරය අසීමිතව දිනාගත්තාය. මේ ඇය සමඟ කළ සොඳුරු කතා බහයි.

ළඟදී අලුත් සිනමා පටයකට සහය අධ්‍යක්ෂණයෙන් එකතු වුණා කියලා ආරංචියි..

ඔව්, ‘යාත්‍රා’ කියන්නේ ප්‍රවීණ සිනමාවේදී ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සිනමා පටයක්. මමත් රුවන් ජයසිංහත් සහය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා. ඒ වගේම මා රංගනයෙන් ද දායක වෙනවා.

මේ වෙද්දී ‘යාත්‍රා’ සිනමා පටය කල්කටාව, බ්‍රිතාන්‍ය සහ ලොස් ඇන්ජලීස් නුවර තිරගත වෙනවා. මේ මස අවසානය වනවිට බොහෝවිට කැනඩාවේදීත් තිරගත වේවි. ඒ මීත්සුසාගා පන්සලට ආධාර පිණිසයි. ඉදිරියේදී ලාංකේය ප්‍රේක්ෂකයන්ටත් මෙය නරඹන්න අවස්ථාව උදාවෙනවා.

‘යාත්‍රා’ කියන්නේ බෞද්ධ දර්ශනය තේමාව කරගත් සිනමා පටයක්. යාත්‍රා චිත්‍රපටය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ටඥඵබඪඨධභඵ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්.

සෙනාලි ෆොන්සේකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, පබෝදා සංදීපනී, රොෂාන් පිලපිටිය, උදාරි පෙරේරා ආදී රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් ඊට රංගනයෙන් දායක වනවා.

මේ දිනවල කලා කටයුතුවලට ඔබගෙන් ලැබෙන දායකත්වය කොහොම ද?

මේ දවස්වල මූලිකත්වය දෙන්නේ ‘යාත්‍රා’ සිනමා පටයේ වැඩකටයුතුවලට. කලා නිර්මාණවලට දායක වීමේ දී මා දැන් තෝරා බේරා ගැනිමක් කරනවා. සමාජයට ආදර්ශයක් ලැබෙන චරිත කරන්න මම කැමැතියි. ඉතින් මගේ රංගනය එවැනි චරිත සඳහා යොදාගන්න මා සිතුවා.

අනිත් එක මම මගේ ජීවිත කතාව ලියාගෙන යනවා. දැනට භාගයක් පමණ ලියලා ඉවරයි. එය පොතක් වශයෙන් පළ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. කාල වේලාවත් එක්ක ඉතුරු ටිකත් හෙමිහිට ලියාගෙන යනවා.

ඔබ රංගන ශිල්පිනියක්, නිෂ්පාදකවරියක් ඒ වගේම අධ්‍යක්ෂකවරියක්...

මම කලාවට පිවිසුණේ රංගනයෙන්. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කරන ලද ගොළු හදවත, දෑස නිසා සහ අහසින් පොළොවට කියන චිත්‍රපට තුන හරහා. ඒ හරහා මට සිනමාවට , ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වෙන්න හැකි වුණා.

මා නිෂ්පාදනය කළ පළමු ටෙලි නාට්‍ය ත්‍රිත්වය රූගත කිරීම් කළේ එංගලන්තයේ දී. ඒ ඉරබටු තරුව, හේමන්තයේ වසංගතයක්, පුෂ්පරාගය කියන ටෙලි නිර්මාණ. ඒ ටෙලිනාට්‍ය විකාශය වූ පසුව හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ දේවල් එක්ක අධ්‍යක්ෂණයටත් යොමු වුණා.

ඇත්තෙන්ම මම මේ දිනවල වේදිකා නාට්‍යයකට සූදානම් වෙනවා. වේදිකා නාට්‍යයක් කරන්න මම බොහෝ කල් ඉඳන් කැමැත්තෙන් හිටියේ.

මේ වේදිකා නාට්‍යය කාන්තාවන් මුල්කරගෙන නිර්මාණය වූවක්. කාන්තාවන්ට මුහුණ දෙන අභාග්‍ය සම්පන්න සිදුවීම්, ගැරහීම්, කාන්තා අයිතිය මේ සෑම දෙයක්ම මේ වේදිකා නාට්‍ය තුළ අන්තර්ගතයි. කලා නිර්මාණ තුළින් කාන්තාවන් වගේම දරුවන් පිළිබඳ යම් කිසි පණිවුඩයක් සමාජයට දෙන්න පුළුවන් නම් එය ලොකු දෙයක්. මා මෙතෙක් කල් සිනමාව තුළින් රඟපෑවේත් එවන් චරිත.

කාන්තාවක් විදිහට රංගනයෙන් ඔබට ලැබුණු ආලෝකය ගැන මොකද හිතෙන්නේ ...

ඇත්ත වශයෙන්ම ශි‍්‍රයානි අමරසේන කියලා නමක් හැදුණේ.... හැමෝම දන්න චරිතයක් වුණේ මගේ රංගනය තුළින්, රංගනයට මම සම්බන්ධ නොවූවානම් මම තවමත් සාමාන්‍ය ගැහැනියක්. ඉතින් ඒකම ඇති මට මගේ ජීවිතය ආලෝකයක් වෙන්න.

චිත්‍රපට කර්මාන්තයේ හොඳම දශකය වූ 70-80 දශකයේ දී නිළියක් වෙලා මේ තත්ත්වයට එන්න ලැබීම ලොකු සතුටක්. ඒ කාලවකවානුවේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් අතර මමත් ඉන්න නිසා මම හරි වාසනාවන්තයි.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

 

2020/03/11 තරුණි බලන්න