සාහිත්‍ය කලාවට ආසාව ඇතිවුණේ මගේ සිංහල ගුරුතුමා නිසා

සම්මානනීය කිවියර බුද්ධදාස ගලප්පත්ති
මාර්තු 18, 2020

මෙරට සාහිත්‍යය, වේදිකාව, සිනමාව, මුද්‍රිත සහ විද්‍යුත් ජනමාධ්‍ය ආදී ක්ෂේත්‍ර රැසක තම නිර්මාණශීලීත්වය ප්‍රකට කළ හෙතෙම, කිවියෙකි. ගත් කතුවරයෙකි. සම්මාන උළෙල බොහොමයක ජූරි සභිකයෙකි.

‘අහංගම පොල්වත්ත ගලප්පත්තිගේ බුද්ධදාස’ එහෙමත් නැතිනම් ‘බුද්ධදාස ගලප්පත්ති’ තරුණී පුවත්පතට සම්බන්ධ වන්නේ 80 දශකයේ දීය. ඒ තරුණී විසින් සම්පාදනය කළ ‘හිතක පිපුණු මල්’ නම් වූ කවි පිටුව සම්පාදනය කරන්නටයිි. ඒ සොඳුරු අතීතය නැවත සිහි කැඳවාලමින් ‘හිතක පිපුණු මල්’ කවි පිටුව නැවතත් තරුණී පිටු අතරට එකතුවන අතර මෙවර ද ඊට සුදුසුම නිර්මාණ තෝරනු ලබන්නේ බුද්ධදාස ගලප්පත්තීන් විසිනි.

කුඩා කාලයේ පටන්ම ලේඛකයකු වන්නට හීන පිරූ ඔහු අද මුද්‍රිත මාධ්‍ය පමණක් නොව විද්‍යුත් මාධ්‍යය තුළ ද ජනපි‍්‍ර‍්‍රය පුද්ගලයෙකි. සරසවිය, ජනාධිපති , දෙරණ වැනි සිනමා සම්මාන, රයිගම් ටෙලීස් වැනි ටෙලි සම්මාන, සාහිත්‍යය සම්මාන, නාට්‍ය, ස්වර්ණ පුස්තක ආදී සම්මාන උළෙල බොහොමයක ජූරි සභික භූමිකාව මැනවින් ඉටු කරන්නෙකි.

‘වසරේ හොඳම කවියා’ ලෙසින් මෙන්ම ‘හොඳම අංග රචනය’ සඳහා වසර පහක් රාජ්‍ය සම්මාන දිනූ ඔහු සමඟ අද අපේ කතා බහ වෙන්වෙයි.

කවි, කිවිඳියන් වැඩියෙන්ම අපේ රටට තිළිණ කළ දකුණු ලකේ ඉපදුණු ඔබගේ ළමා කාලය ගැන සිහිපත් කළොත් ?

‘මගේ අම්මාගේ ගම බෙලිඅත්ත. තාත්තා ගන්දර. මම ඉපදුණේ වලස්මුල්ල රෝහලේ. පවුලේ වැඩිමහලු දරුවා වුණු මට බාල සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් දෙදෙනකු ඉන්නවා.

මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මා උසස් පෙළ සඳහා කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලයටත් අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාලය එහෙමත් නැතිනම් වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර සරසවියටත් ඇතුළු වුණා.

ඇත්තටම කිව්වොත් මේ සාහිත්‍ය කලාවට මගේ ආසාව ඇති වූණේ අපේ සිංහල ගුරුතුමා නිසා. ටී. කේ. සෝමපාල නම් වූ ඔහු හෙළ හවුලේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. ලස්සනට අත්අකුරු ලියන්න වාගේම පන්ති පුස්තකාලයක් හදලා කියවීමට අපිව යොමු කළෙත් ඔහුමයි. එහි ප්‍රතිඵලයක් විදිහට කමලා ළමා සමාජයට මම ලියා එවූ ‘සඳපහන් රැයක්’ නම් වූ නිර්මාණය සිළුමිණ පුවත්පතේ පළ වුණා. ‘ඒ. පී. ජී. බුද්ධදාස’ යන නමින්. මගේ නම මුල්වරට මුද්‍රණයෙන් දැකපු ඒ මොහොත කවදාකවත් මට අමතක වෙන්නේ නැහැ.”

 

ඡායා -  ටෙනිසන් එදිරිසිංහ

 

2020/03/16 තරුණි බලන්න