නවකයන්ට වඩා ප්‍රවීණයන් අතර හොඳ ගතිගුණ තිබෙනවා

Queen ටෙලි නාට්‍යයේ ධරණි
මාර්තු 18, 2020

- අමන්දා ජයරත්න

මේ සොඳුරු සිතැත්තිය අමන්දා ජයරත්න. තෝඩු ටෙලි නාට්‍යයේ පහන්දිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට ගිය ඇය පසුගියදා අලුත් නිර්මාණයකට දායක වී තිබුණා. ඒ ස්වර්ණවාහිනී නාළිකාවේ සතියේ දිනවල විකාශය වන ‘ක්වීන්’ ටෙලි නාට්‍යයටයි. එහි ධරණිගේ චරිතය හරහා ඇය මේ දිනවල ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලබමින් සිටියි. මේ ඇය සමඟ කළ සොඳුරු කතාබහයි.

ක්වීන් හි ධරණිට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මම හිතන්නේ මම කරපු රඟපෑම්වලින් ප්‍රේක්ෂකයන් මාව වඩාත් වැලඳගත්තේ මේ චරිතය හරහායි. මේ චරිතය තරමක් වෙනස් චරිතයක්. ධරණි කියන්නේ විශ්වවිද්‍යාලයට යන යුවතියක්. ඇය දඟකාරයි, කාටකාරයි. ධරණි කිසි දෙයක් ගැන ඕනාවට වඩා හිතන්නේ නැහැ. හරිම සැහැල්ලුවෙන් ඉන්නේ.

මම මෙතෙක් කළ චරිතවලින් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ ධරණි චරිතයටයි. මඟ තොටේදී වගේම ෆේස්බුක් එකටත් මගේ රඟපෑම ගැන හොඳ කියනවා. මට ලොකු සතුටක් දැනෙනවා කෙටි කාලයක් තුළදී ප්‍රේක්ෂක ආදරය හිමිවීම ගැන.

රංගනයට පිවිසුණේ කොහොම ද ?

මම රූපලාවණ්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන යටතේ බ්‍රයිඩ්ල් මොඩ්ලිං කළා. ඉතින් මගේ බ්‍රයිඩ්ල් මොඩ්ලිං ෆොටෝ ෂුට් එකක් දැකලයි ලලිත් වසන්ත මහතා මට රංගනයට කතා කළේ. ඒ හරහා මට නීලපබළු ටෙලි නාට්‍යයේ මොනිකාගේ චරිතය කරන්න අවස්ථාව උදා වුණා.

ඔබ දායක වූ අනෙකුත් කලා කටයුතු ගැන කතා කළොත් ?

මගේ මුල්ම රංගනය වූයේ නීල පබළු හි මොනිකාගේ චරිතය. ඒ 2017 අවුරුද්දේදී. ඊට පසු තෝඩු ටෙලි නාට්‍යයේ පහන්දිගේ චරිතය, හතේ කල්ලිය ටෙලි නාට්‍යයේ ගීතාගේ චරිතය.

සියත නාළිකාවේ විකාශය වූ ඉත්තෝ ටෙලි නාට්‍යයෙත් ප්‍රධාන චරිතයක් කළා. ඉදිරියේ දී විකාශය වීමට නියමිත ඩස්ට් ටෙලි නාට්‍යයෙත් මම ප්‍රධාන චරිතයක් කරනවා. ඒ වගේම තවත් ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම්වලට මේ දිනවල සම්බන්ධ වී සිටිනවා.

ඔබ නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. මේ ක්ෂේත්‍ර දෙකෙන් වඩාත් පි‍්‍රය කරන්නේ කුමකට ද ?

නිරූපණ ක්ෂේත්‍රය නිසයි මට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මම දැන් රංගන ශිල්පිනියක් කියලා නිරූපණයෙන් ඈත් වෙන්නේ නැහැ. රංගන ක්ෂේත්‍රය තරමටම මම නිරූපණ ක්ෂේත්‍රයටත් කැමැතියි.

 

2020/03/16 තරුණි බලන්න