මටයි දරුවො තුන් දෙනාටයි දවස් 14ක් ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න සිදු වුණා

ජනප්‍රිය රංගන ශිල්පිනී අශිකා මතසිංහ
මැයි 13, 2020

'කොහොඹ රුක් සෙවනැල්ල සිසිල දෙන..' මේ ගීතය තිබූ වෙළෙද දැන්වීම ඔබට තවමත් මතක ඇති. ඒ ගීතයත් සමඟ මුලින්ම මතකයට නැඟෙන්නේ ඊට පණ පෙවූ රුවැත්තියයි. වෙළෙඳ දැන්වීම් වලින් පසුව රංගනය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය දායක වූ කලා නිර්මාණ බොහෝයි.

මේ දිනවල විකාශය වන ඇය, අහස් මාලිගා, සඳ හැංගිලා වැනි ටෙලි නාට්‍ය වලින් ඔබගේ ඒ මතකය අලුත් වේවි.

ඇය අශිකා මතසිංහ. අශිකා ආදරණීය සැමියකගේ බිරියක්. දරුවන් තිදෙනකුගේ මවක්. ඒ සොඳුරු කැදැල්ලේ තොරතුරු දැනගන්නට ඔබත් කැමැති ඇති. කොරෝනා වසංගතය නිසා ලැබුණු දිගු නිවාඩුවේ ඇය කලා කටයුතු වලින් ඉවත්වී දරුවන් සමඟ ගත කළ අයුරු දැනගන්නට ඇය සමඟින් කළ සොඳුරු කතා බහයි මේ.

මේ දිනවල ඔබ නිතර පුංචි තිරයේ දකින්න ලැබෙනවා.....

රූගත කළ නාට්‍ය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම පසුගිය කාලයේ මා රංගනයෙන් දායක වූ නිර්මාණ ප්‍රේක්ෂකයි ආදරයෙන් වැළඳගත්තා. හේඩි, හිතුවක්කාරයා, සුදු අඟුරු, අහස් මාලිගා, සඳ හැංගිලා, ප්‍රාණ, සුදු අරලිය, හිම කඳු, කුලැත්තියෝ වැනි ටෙලි නාට්‍ය කිහිපයකටම මට පසුගිය කාලයේ රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු සතුටක්.

සිනමාවටත් සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුණා නේද?

සුභා තෙරණියෝ සිනමාපටයට දායක වෙන්න ලැබීම ලොකු වාසනාවක්. ලොකු චරිතයක් නොවුණත් මං හරි ආසාවෙන් කරපු චරිතයක්. මාස ගණනාවක් මස් ,මාළු නොකා පේ වෙලා මම ඒ චරිතය කළෙ පුදුම ආසාවකින් සහ භක්තියකින්්.

කාලයක ඉඳන් හිතේ ලොකු ආසාවක් තිබුණා එවැනි චරිතයක් කරන්න. හරි පුදුමයි ඉතිං මට ඒ චරිතය ලැබුණා. රංගනයේදී චරිතයක් නිරූපණයට හරි සිවුර දැම්මා කියන එක හිතට හරි අමුතු හැඟීමක්. මම ඇත්තටම කිසිම කෙනකුට වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි. මම දරුවන්ටත් කියලා දීලා තියෙන්නෙ එහෙම ඉන්න කියලා. ඒ හින්දම මම ගොඩක් පිං කරලා තියෙන්න ඇති එවැනි චරිතයක් ලබන්න.

ඒ වගේම ඔබට රූ රැජිනක ලෙස කිරුළු දරන්නටත් අවස්ථාවක් හිමි වෙනවා..

මම 2019 මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් තරගාවලියට ඉදිරිපත් වුණේ මගේ උනන්දුවටත් වඩා අනිත් අය මාව උනන්දු කළ නිසයි. ඒ තරගාවලියෙන් මට තුන්වැනි ස්ථානය හිමි වුණා.

මම දරුවො තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ අයගේ වැඩයි ගෙදර වැඩයි හැමදේම කරන අතරතුර තමයි තරගයට ඉදිරිපත් වුණේ.

ඒ තුළ මම ලබපු ජයග්‍රහණය ගොඩක් වටිනවා. මගෙ යාළුවෝ, නෑදෑයෝ, අසල්වැසියෝ හැමෝම වගේ මට සුබ පැතුවා. ඒ අය ඔයා ලස්සනයි හැඩයි කියලා කියද්දී මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.

කොහොමද කලා ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වුණේ?

පාසල් අධ්‍යාපනය අවසන් වෙලා ඉන්න කාලෙදි තමයි මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධවුණේ. මම අධ්‍යාපනය හදාරපු අනුලා විද්‍යාලයේ දී පැවැති උත්සවයකදී මාව දැකලා කමලා පහනගලගේ කියලා ආන්ටි කෙනෙක්. එයා වෙළෙඳ දැන්වීමක් සඳහා මාව යොමු කළා. ඊට පස්සේ නාලන් මෙන්ඩිස් මහතාගේ වසන්තය ඇවිල්ලා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. කොහොඹ සබන් වෙළෙඳ දැන්වීමෙන් තමයි මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඉන්පසුව ටෙලි නාට්‍ය, මියුසික් වීඩීයෝ, සිනමාපට වැනි කලා නිර්මාණ බොහෝ ප්‍රමාණයකින් මගෙ රංගන හැකියාව පෙන්නන්න හැකියාව ලැබුණා.

වෙළෙඳ දැන්වීමක් ඔබව මෙතරම් දුරගෙන එයි කියාලා එදා සිතුවා ද?

එහෙම හිතුණෙ නැහැ. ඒත් මං පුංචි කාලේ ඉඳන්ම හිතාගෙන හිටපු දෙයක් තමයි වයසට යන්න කලින් වයසට නොයා යුතුයි කියන එක. මගෙ පෙනුම හැකියාව මාව මෙතෙක් දුර රැගෙන ආවා. ඕනෑම කෙනකුට ආවේනික ලස්සනක් තියෙනවා. ඒ ලස්සන වැඩි දියුණු කරගන්න තමන් දැන ගන්න ඕනේ. මට ඕනෙම කෙනෙක් දිහා බැලුවම කියන්න පුළුවන් මෙයා රුව ගැන හිතන කෙනෙක්ද නැද්ද කියලා. ඒ වගේම අනිත් අය මං දිහා බලලත් ඒ වගෙ නිගමන වලට එනවා ඇති. මම ගැන හිතනවා. මං මට ආදරෙයි. මං කුමක් හෝ දෙයක් ලබා ගන්න කැප වෙන තරමට තමයි ප්‍රතිඵලය ලැබෙන්නෙ. හැම කෙනෙක්ම එහෙම හිතුවොත් බෑ කියලා දෙයක් නැහැ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 15ක් වෙනවා. මට අවශ්‍ය දේවල් මං ළඟා කර ගත්තේ මගේ ඒ කැපවීම නිසයි.

ඔබේ ජායාරූපයක් මුල්ම වතාවට පළවුණේ තරුණී පුවත්පතේ මුල් පිටුවේ. ඒ පිළිබඳ මතකය අවදි කළොත්....

ඔව්. ඒ දැනට අවුරුදු 15කට පමණ කලින්. එදා ඒ ඡායාරූපය ගත්තෙ චන්ද්‍ර බන්දුල අයියා. මට තාම මතකයි පාරක් අයිනේ වගේ ඒක ගත්තෙ. මං ඇඳගෙන හිටියෙ රෝස පාට ඇඳුමක්. තරුණිත් හේතුවක් වෙන්න ඇති අද මං මේ තැන ඉන්න. ඊට කලින් මං නාට්‍යයක රඟපාලා තිබුණා. කොහොඹ ඇඩ් එකට හිටියේ නම් තරුණි මුල් පිටුවේ ඡායාරූපය පළවූවාට පසුවයි. ඉන්පසුව අවස්ථා කිහිපයකදීම මට තරුණී මුල් මුල් පිටුවේ ඉන්න ලැබුණා. එදා වගේම තරුණී අදටත් මාත් එක්ක ඉන්නවා. ඒක ලොකු සතුටක්.

අශිකා වෘත්තීය විදිහට තෝර ගත්තෙ රංගනය ද?

මම මුලින් රැකියාවක් කළා. මේ ක්ෂේත්‍රය ආවේ ආදායමක් ගැන හිතලම නොවේ ආසාවකට. නමුත් දැන් මං වෘත්තීය රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව රූපලාවණ්‍ය පිළිබඳවත්, ඇඳුම් මහන්නත් ඉගෙන ගත්තා. ඒ දේවල් මට නිතරම ප්‍රයෝජනවත් වෙනවා. ඕනෑම කෙනෙක් එකම දේක එල්ලිලා ඉන්නෙ නැතුව වෙන වෙන පැති වලටත් ගිහින් බලන්න. මං රංගන ශිල්පිනියක්. මං විවාහක රූ රැජින තරගයට ගියෙත් ඒක වෙනස් දෙයක් නිසා. දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. උස්සහය තමයි වැදගත්. වෙනත් රැකියා කරන ගමන් රංගන කටයුතු කරන අයත් ඉන්නවා. ඒක හොඳ දෙයක්.

රංගන ක්ෂේත්‍රය කාන්තා පාර්ශවයට සුදුසු නැහැ කියන මතයට ඔබ එකඟ ද?

රංගන ක්ෂේත්‍රය නෙවෙයි එහෙම නම් ගැහැනු අයට කිසිම ක්ෂේත්‍රයක් හොඳ නැහැ කියලා තීරණය කරන්න වෙනවා. කටකතා හැදෙන්නෙ නැහැ. මගෙ රංගන ජීවිතය ගැන. මගෙ පෞද්ගලික ජීවිතය ගැන හැමෝම හොඳ කියනවා. මං දිහා බලලා හැදුණු පිරිසක් ද ඉන්නවා. මං කවදාවත් කට කතාවක් හදා ගත්තෙ නැති කෙනෙක්. මං කෙනකුට ආදර්ශයක් වෙනවා කියන්නෙ ඒකම ඇති මට සතුටු වෙන්න.

දරුවන් තිදෙනකුගේ මවක් වෙලත් ඔබේ සුද්දරත්වය එලෙසින්ම පවත්වා ගන්නෙ කොහොම ද?

මං කුඩා කාලයේ ඉඳන්ම රුව ගැන හිතනවා. එතකොට මට අවුරුදු 5යි. අපේ ගෙදර වැඩපළක සේවය කරපු කෙනෙකුගෙ දුව සිඟිති අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කළා. ඒ ගත්තු ෆොටෝ එකක් අම්මා ගෙනත් මට පෙන්නලා කිව්වා බලන්න පුතේ කොණ්ඩෙ දිගයි මූණ ලස්සනයි ඔයත් කවදා හරි දවසක මේ වගේ ලස්සනට ඉන්න කියන එක මගෙ ඔළුවට දැම්මා. එදා අම්මා ඒ කියපු දේ නිසයි මං මගේ ගැන මේ තරම් හිතන්න ගත්තෙ.

මම කන්න ඉපදුණු කෙනෙක් නෙවෙයි. මං කන්නෙ බොහොම ටිකයි. කොයි තරම් රස දෙයක් වුණත් මං කන ප්‍රමාණයක් තියෙනවා. එළවළු, පලතුරු නිතර ආහාරයට ගන්නවා. මට ජිම් යන්න වෙලාවක් ඉතිරි වෙන්නෙ නැහැ. ඒ නිසයි ගෙදර වැඩ හැම දෙයක්ම මගෙ අතින්ම කරන්නෙ. රෙදි ටික මගෙ අතින්ම හෝදනවා. මං ගෙදර වැඩටවත් කෙනෙක් තියාගෙන නැහැ. ඒ දේවල් වලින් ව්‍යායාමයක් ලැබෙනවා. පෙනුම විතරක් නෙවෙයි අපි කරන දේවල් හිතන දේවල් හොඳ වුණොත් ඒ දේවල් ද පෙනුම ලස්සන වෙන්න බලපානවා.

 

2020/05/13 තරුණි පුවත්පත බලන්න