මගේ පුතාලා තුන්දෙනාම හරිම අහිංසකයි

අප්සාරි තිලකරත්න
මැයි 20, 2020

අධ්‍යාත්මික සුවය සොයා යන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ පුතුන් දෙදෙනා

හෂාන් තිලකරත්න කියන නම මේ රටේ නොදන්නා කෙනකු නොමැති තරම්. ක්‍රිකට් පිටියේ හපන්කම් පාමින් වාර්තා පොතට නම එක් කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින් මෙන්ම ටෙස්ට් ක්‍රිකට් නායකත්වය දරමින් හෙතෙම මේ පුංචි ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ඔසවා තැබූ බව කාටත් නොරහසකි.

හෂාන්ගේ පි‍්‍රය බිරිය අප්සාරි තිලකරත්න. රුවින්, ගුණෙන්, යහපැවැත්මෙන් සපිරි ආදරණීය බිරියක්, මවක්, දියණියක් වාගේම අපූරු යෙහෙළියක්. එදා ඉඳන්ම තරුණී පුවත්පතත් සමඟ අත්වැල් බැඳගත් තරුණියේ හිතවතියක් වූ අප්සාරි සමඟ පුංචි කතාබහක යෙදෙන්න අපට සිතුණා. ඒ වෙන කිසිවක් නිසා නොව අධ්‍යාත්මික සුවය සොයා යන ඇයගේ දයාබර පුතුන් ගැන අපූරු පණිවුඩයක් පසුගිය වෙසක් පොහොය දිනයේ නෙත ගැටුණු නිසා.

ඉතින් කොහොමද අප්සාරි ජීවිතේ?

“වරදක් නැහැ. හොඳින් ඉන්නවා. වෙනදා වගේම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා.”

ඔබ තරමක් කාර්යබහුල කාන්තාවක්. බිරියක්, මවක් වගේම රැකියාවක නියුතු තැනැත්තියක්. හැබැයි මේ දිනවල නම් පුංචි විවේකයක් ලැබිලා ඇති.

“මම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ කැඳවුම්කරු විදිහට කටයුතු කරනවා. ඒ යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ සහ සංවර්ධිත කටයුතුවල නියැළෙනවා. ඊට අමතරව මගේ යහළුවකු සමඟ එකතු වෙලා  ‘oshow’  කියලා online  ටීවී චැනල් එකක් කරනවා. එය යූ ටියුබ් එක හරහා තමයි විකාශය වෙන්නෙ. ඒක මගේ විනෝදාංශයක් වාගේ දෙයක්.

ඇත්තටම කිව්වොත් කොවිඩ් 19 පැතිරුණු මරණය කැඳවන භීෂණකාරී කාලවකවානුවක් මේ. නමුත් ඒ හරහා අපට ලැබුණු නිදහස් කාල පරිච්ඡේදය සැබැවින්ම වෙස් වළාගත් ආශීර්වාදයක් කියලයි මට නම් හිතෙන්නේ. දැන් බලන්න සාමාන්‍ය විදිහට නම් මගේ පවුලේ හැමෝම උදෑසනින්ම නිවෙසින් පිටත් වෙනවා. හෂානුයි, ලොකු පුතාලයි දවසම ක්‍රිකට් ක්‍රීඩා කටයුතුවල. චූටි පුතා පාසල් යනවා. මමත් රැකියාවට යනවා. අපි හැමෝම නැවත මුණ ගැසෙන්නේ රාත්‍රියට.

ඉතින් දවස පුරාම වෙහෙසෙන දරුවන්ගේ ශරීරයට වාගේම මනසටත් මේක හොඳ විවේකයක්. ඒ විතරක්ද? පවුලක් විදිහට දවස පුරාම නිවෙසේ රැඳෙන්න. නිදහසේ නාන්න, කන්න බොන්න, කතාබහ කරන්න, කැමැති කෑමක් අත්හදා බලන්න මේ ලැබුණු විවේකය මොනතරම් වටිනවා ද?

මම කොහොමත් ගෙවතු වගාවට හරිම කැමැතියි. මල් වවලා ලස්සනට ගෙමිදුල තියා ගන්නයි මට ඕනේ. හැබැයි මේ ලැබුණු නිදහස මල්වලට අමතරව එළවළු, පලා, පලතුර වාගේ දේවල් වගා කරන්නත් වෙන් කරගත්තා. හෂාන් සහ පුතාලා මට ඒ වැඩවලට ගොඩාක් උදවු කළා. අපි අලුත් පාත්ති හැදුවා. පැළ සිටෙව්වා.

ඉතින් පවුලක් විදිහට එකමුතුව වැඩ කරගෙන යන්න මේක හොඳම හොඳ කාලයක්. අපි බොහොමයක් දවසට හුඟාක් රෑ වෙනකම් කතාබහ කරනවා. ආගිය තොරතුරු වාගේම පුතාලාගේ අනාගතය ගැන. තරුණ පුතාලානේ දැන් අපට ඉන්නෙ. ඉතින් එයාලාගේ අදහස්, සිතුම් පැතුම් ආදී දේ විවෘතව කතාබහ කරන හරිම සොඳුරු ගෘහ ජීවිතයක් තමයි මේ දිනවල ගත වෙන්නෙ.”මම අපේ දරුවන්ට නිතරම පෝෂ්‍යදායී ආහාර නිවෙසේදීම සකසා දෙන්න කවදත් උනන්දුයි. පිටතින් ආහාර ගන්නවාට වඩා නිවෙසේ හදන කෑම කන්න පුංචි කාලේ ඉඳන්ම අපි එයාලට පුරුදු කළා. ඉතින් මේ දවස්වල මම එයාලා ආස කරන කෑම වර්ග හදා දෙනවා. විශේෂයෙන්ම ඔය කේක්, පුඩිං වගේ දේවල් හදපු ගමන්ම උණුවෙන්ම කන්න කැමැති නිසාම මම මේ දවස්වල හැමදාම වාගේ කේක් නම් හදනවා .

අප්සාරි කියන්නෙ පුතාලා තුන්දෙනෙක්ම ඉන්නා මවක්. ඉතින් ඔයාගේ ආදරණීය පුතාලා ගැනත් අපි කතා කරමු.

“ අපේ ලොකු පුතා දුවිඳු තිලකරත්න. දෙවැන්නා රවිඳු තිලකරත්න. එයාලා නිවුන් දරුවන්.

දැන් වයස අවුරුදු 23 ක්. පාසල් ජිවිතවලින් සමුඅරන් පූර්ණකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. දුවිඳු පසුගිය දිනවල එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වුණු තුන්දින පුහුණු තරගයට සෙල්ලම් කළා. ඒ වගේම ප්‍රිමියර් ටූනමන්ට් එකට සෙල්ලම් කරලා වැඩිම විකට් ප්‍රමාණයක් හිමිකර ගත්තා. ඒ දෙන්නාගේම අරමුණ තාත්තා වගේම රට වෙනුවෙන් සෙල්ලම් කිරීම.

චූටි පුතා රජිඳු තිලකරත්න. එයා දැන් 10 වසරේ. එයත් ක්‍රිකට්වලට හරිම කැමැතියි වාගේම ආදරෙයි. පාසල් කණ්ඩායමෙත් සෙල්ලම් කරනවා. රජිඳුත් කවදාහරි තාත්තා වගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියටම යනවා කියලයි කියන්නෙ.

ඉතින් මමයි, හෂානුයි එයාලාගේ වැඩ කටයුතුවලට උදවු කරනවා. විශේෂයෙන්ම හෂාන් එයාලට හොඳට පුහුණුවීම් කරවනවා. උපදෙස් ලබාදෙනවා. අපි දෙන්නටම හරිම සතුටුයි. එයාලාගේ මේ තෝරාගැනීම පිළිබඳව.

ක්‍රිකට්වලට වාගේම පුතාලා මියුසික්වලටත් හරිම කැමතියි. එයාලා තුන්දෙනාම නිතරම සංගීතය රස විඳීනවා. යාළුවොත් එක්ක මියුසිකල් ෂෝ එහෙම බලන්න අනිවාර්යයයෙන්ම යනවා. ඒ වගේම තමයි කැලේ ඇවිදින්න යන්නත් පුදුමාකාර විදිහට ආසයි. විශේෂයෙන්ම එයාලා නිතරම යාල වනයේ ඇවිදින්න යනවා. ඓතිහාසික ස්ථාන, නටබුන් නරඹන්නත් හරිම කැමතියි .

පසුගිය වෙසක් පොහොය දිනයේ දී එක්තරා රූපවාහිනී වැඩසටහනක දී මේ පුතුන් පිළිබඳ සුවිශේෂී පණිවුඩයක් කියැවුණා. අපි කැමැතියි ඒ පිළිබඳත් දැනගන්නට.

“ඇත්තටම හැමදාමත් වාගේ අපේ නිවෙසේ පරිසරය බෞද්ධාගම මුල් කරගත් පරිසරයක් තමයි තිබුණේ. සිංහලකම, අපේ සංස්කෘතිය, බෞද්ධකම එයාලාගේ සිත් තුළට ඇතුළු වුණේ පුංචි කාලේ ඉඳලමයි. මේ නිවෙසේ හැමදාමත් උදේ, දහවල, සවස බුදු පහන දල්වනවා. බුද්ධ පූජාව තබනවා. පිරිත් ඇසෙනවා. ඉතින් එයාලත් කිසිම බලකිරීමකින් තොරව ඒවාට යොමු වුණා. අපි නිතර පන්සල් යනවා, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. ධර්ම සාකච්ඡාවල යෙදෙනවා. ඉතින් ලොකු පුතාලා නිරන්තරයෙන් මේ ධර්මයේ හැසිරී අධ්‍යාත්මික ගුණ වගාවට යොමු වුණා. බෞද්ධ හැදියාව අනුව ජීවිත හැඩගස්වාගන්න එයාලා උනන්දු වුණා. එයාලාගේ ඇසුරේ රැඳෙන චූටි පුතත් දැන් ඒවාට යොමු වෙලා.

2020/05/20 තරුණි පුවත්පත බලන්න