පවුල අංක එක කියලා ජීවිතයේ හැම දේම කැප කරන්න අවශ්‍ය නැහැ

රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා
මැයි 25, 2020

2003 වසරේදී මිස් ශ්‍රී ලංකා (MISS SRI LANKA)  කිරුළ දිනාගැනීමත් සමඟ කලාවට පිවිසි ඇය, ඔබ අප කවුරුත් හොඳීන් දන්නා රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ශිල්පිනියක්. ඇය සචිනි අයේන්ද්‍රා.

'ආදරණීය වස්සානය' ඇය ප්‍රථම රංගන දායකත්වය ලබා දුන් සිනමා නිර්මාණයයි. ඉන්පසුව රංගන ක්ෂේත්‍රයේ නිර්මාණ රාශියකට දායක වූ ඇය කලා ලොව තුළ කවුරුත් කතා බහට ලක්කරන දක්ෂ රංගන ශිල්පිනියකි. ආදරණීය බිරියක්, දියණියන් දෙදෙනකුගේ මවක් ලෙසින් සොඳුරු කැදැල්ලක හිමිකාරිනියක වන ඇය සමඟින් කළ සොඳුරු කතා බහයි මේ.

ඉතිං කොහොමද සචිනි?

වෙනදා වගේම හොඳීන් ඉන්නවා. මේ දවස්වල ලොකුවට වැඩ මුකුත් තිබුණේ නැහැ. සමාජ මාධ්‍ය තුළින් විවිධ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන වැඩසටහන් කිහිපයකට පසුගිය මාස දෙකේ සම්බන්ධ වුණා. ඒ වගේම අලුත් ටෙලි කතා මාලාවකටත් ආරාධනා ලැබුණා. ඉතිං මේ දවස් වල ඒ පිටපත කියවනවා.

පවුලේ අයත් එක්ක මේ දවස්වල කාලය ගත කළේ කොහොම ද?

කොරෝනා ව්‍යසනයත් එක්ක ලොකු නිවාඩුවක් ලැබුණා. එහෙත් ඒක නිවාඩුවක් කියන්නම බැහැ. මොකද මම නම් හිතන්නේ ඒ කාලය තුළ මං ඊටත් වඩා කාර්යබහුල වුණා කියලයි. මට දුවලා දෙන්නෙක් ඉන්නවනේ. ඉතිං ඒ දෙන්නටම උදේ ඉඳන් දවල් 12 වෙනකම් පාසලෙන් ඔන්ලයින් ක්‍රමයට උගන්වනවා. එයාලා තාම පොඩි නිසා ඔන්ලයින් පාඩම ඉවර වෙනකම් එයාලගෙ ළඟ වාඩිවෙලා ඉන්න ඕනේ. ඉතිං ඒක ඉවර වුණාට පස්සේ ඉතුරු කාලයම යන්නේ එයාලගේ පාසලෙන් දීපු ගෙදර වැඩවලට උදව් වෙන්න. ඉතිං මාස දෙකක් ගෙදර හිටියා කියලා මට නිවාඩුවක් ලැබුණේ නැහැ.

සැමියාත් මේ ටිකේ ගෙදර ඉන්නේ. ඉතිං එයාගෙනුත් උදව් ලැබුණා. අපි එළියට ගියේ නැති වුණාට ඔන්ලයින් හරහා ෆෝන් හරහා අපේ දෛනික වැඩ කටයුතු ඒ විදිහටම කළා. ඔන්ලයින් පාඩම් කටයුතු පටන් ගන්න කලින් මං පොත් කියෙව්වා. විවේකීව හිටියා. නමුත් ඔන්ලයින් පාඩම් කටයුතු පටන් ගත්තට පස්සේ විවේකයක් ලැබුණෙම නැහැ.

ඇයි ඔබ කාලයක් කලා කටයුතු වල දකින්න ලැබුණේ නැත්තේ?

මම විවාහ වෙලා අවුරුද්දකින් පසු පළමු දරුවා ලැබුණා. ඊට පස්සේ දෙවැනි දුව ලැබුණා. ඉතිං දුවලා දෙන්නා ලැබිලා අවුරුදු තුන හතරක් යනකම් මට මුකුත් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද ඒක ජීවිතයේ අලුත් පිටුවක්නේ. ඉතිං මගේ අවධානය සම්පුර්ණයෙන්ම ඒ දෙදෙනාට යොමු කළා. නමුත් මම කලා කටයුතු කිහිපයක් කළා. එහෙත් ඉස්සර තරම් කාර්යබහුල වුණේ නැහැ. හැම වෙලාවෙම මුල් තැන දුන්නේ බබාලට, පවුලට, ගෙදරට. ඒ විදිහට කාලයක් හිටියා. පස්සේ ආයේ රංගන කටයුතු පැත්තට ටික ටික යොමු වුණා. මේ වනවිට අලුත් සිනමා පට 5කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් ඒවා තාම තිරගත වුණේ නැහැ.

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.