රූ කිරුළක් දිනා ගන්න ලැබීම මගේ ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්

වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන
ජුනි 10, 2020

 

කොරෝනා ව්‍යසනය නිසා මේ දිනවල වෛද්‍ය අංශයට පැවරී ඇත්තේ ලොකු වගකීමක්. එවන් වගකීමක් දරණ වෛද්‍යවරියක් ගැනයි අද කියන්න යන්නේ. ඇය නුවන්දිකා සිරිවර්ධන.

කොරෝනා වෛරස් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් බොහොමයක්ම වෙන්ව ඇති නිසා ඇය සේවය කරන නවගමුව රජයේ රෝහලට මේ දිනවල අනෙකුත් රෝගීන් විශාල වශයෙන් පැමිණෙයි. ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබඳව මේ සටහන තැබෙන්නේ ඇය වෛද්‍යවරියක් පමණක්ම නොව රූ කිරුළු දිනා ගත් නිරූපණ ශිල්පිනියක්ද වන හෙයිනි.

අතිශය කාර්යබහුල මොහොතක දී වුවත් ඇය තරුණී සමඟ කතා බහකට එකතු වුණේ ඉතාමත් සතුටින්.

මේ දිනවල කොහොමද ඔබේ රාජකාරි කටයුතු ?

මම නවගමුව රජයේ රෝහලේ සේවය කරන්නේ. මේ දිනවල නවගමුව රෝහල අනෙකුත් රෝහල්වලට වඩා තරමක් කාර්යබහුලයි. කොවිඩ් රෝගය වෙනුවෙන් ජයවර්ධනපුර, මුල්ලේරියාව සහ හෝමාගම රෝහල් වෙන් කර ඇති නිසා අනෙකුත් රෝගීන් බොහෝ පිරිසක් නවගමුව රෝහලට පැමිණෙනවා. බොහෝ දිනවල රෝගීන් 100කට වැඩි පිරිසක් පරීක්ෂා කරන්න සිදු වෙනවා. ඒවගේම සේවය ලබා දීමත් සංකීර්ණ වෙලා. ආරක්ෂිත ඇඳුම්, ආරක්ෂිත පිළිවෙත් බහුලව ක්‍රියාත්මක නිසා වෙනදාට වඩා සුපරීක්ෂාකාරිව වැඩකරන්න වෙලා තියෙන්නේ. වෛද්‍යවරුන් විදිහට මේ දවස්වල හැමෝටම තමන්ගේ ගෙදර අය ගැනවත් බලන්න වෙලාවක් නැහැ.

දැනට පවතින නව කොරෝනා වෛරස තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?

ඇත්තටම ශ්‍රී ලංකාව තුළ මේ වනවිට තත්ත්වය අනෙකුත් දියුණු රටවල්වලට සාපේක්ෂව බලනකොට වෛරසය සාර්ථකව මර්දනය කිරිමක් දක්නට ලැබෙනවා. මරණ ප්‍රමාණය ඉතා අවමයි. ඉතින් රජය, ආරක්ෂක අංශ, සෞඛ්‍යය අංශ වගේම අත්‍යාවශ්‍ය සේවාවන් සමග එක්ව මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් සාර්ථකව රෝගය පාලනය කිරිමක් දකින්න ලැබෙනවා. මාස දෙකකට ආසන්න කාලයක් පවතින ඇඳීරිනීතිය නිසා ආර්ථික වශයෙන් රට අස්ථාවර වන්නට නොදී රට ඉදිරියට ගෙනයැමේ පියවරක් ලෙස මේ වනවිට රජය ඇඳීරිනීතිය ළිහිල් කරමින් ජනදිවිය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය අරඹලා තියෙනවා. හැබැයි ඒ කියන්නේ කොරෝනා අවදානම පහව ගියා කියන එක නොවේ. ජනතාව එය වරදවා වටහා ගෙන කොරෝනාවට පෙර පරිදි කටයුතු කරන්න ගියොත් නැවත කොරෝනා හිස ඔසවන්න පුළුවන්. ඒ නිසා හැමෝම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ඒ ලෙස පිළිපැදිය යුතුයි.

වෛද්‍යවරියක්ව සිටිය දී ඔබ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොම ද?

මම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ සිට නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ හැදැරුවා. ඒ වෙනුවෙන් ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගත්තා. ඔන්ලයින් හරහාත් ජාත්‍යන්තර පාඨමාලා වලින් ඉගෙන ගත්තා. නමුත් විවිධ රටවල්වලට ගිහින් නිරූපණය පිළිබඳ විශාල වශයෙන් හදාරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද මම මූලිකත්වය දුන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයට. අංක එක කියලා මම හිතන්නේ වෛද්‍ය වෘත්තියයි. දෙවනුවයි නිරූපණ ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් දේවල් ගැන හිතන්නේ.

 

 

2020/06/08 තරුණි බලන්න.