නව කොරෝනා වෛරසයෙන් කඩා වැටුණු තරු

ජූලි 29, 2020

* ඓශ්වර්යාට ආරධ්‍යාට දැන් සුවයි

 

කෝවිඩ් -19 ට කිසිදු භේදයකින් තොරව රජුගේ සිට යාචකයා දක්වා සියල්ලන්ම ගොදුරු වුණා. තිරයේ දුෂ්ටයාගේ සෑම පහරකටම නැඟිටින වෙඩි වැදුණත් යළි පණ ලබන වීරයන් ද රසිකයන් කම්පා කරමින් නව කොරෝනා වෛරසයෙන් පරාජය ලබමින් සිටිනවා. බොලිවුඩ් රාජධානියේ මෙගා තරුව හැත්තෑ හත් හැවිරිදි අමිතා බච්චන් වගේම ඔහුගේ පුතු අභිෂේක්, ලේළිය ඓශ්වර්යා, මිනිබිරිය ආරධ්‍යා ද මේ වන විට කෝ්විඩ් - 19 ගොදුරු බවට පත්වෙලා. අම්තාබ්ගේ නිළි බිරිය ජයාවත් දියණිය ස්වේතාවත් මේ දක්වා කළ පරීක්ෂණවලින් වසංගතයට ගොදුරු වෙලා නැති බව හෙළිවී තිබෙනවා. පරම්පරා වෙනසක් නැතිව ඕනම කෙනෙක් රෝගයට ගොදුරු වෙන බවට බච්චන් පවුල ලොවට උදාහරණයක් වෙලා.

අයිශ්වර්යා රායිට දැන් වයස අවුරුදු හතළිස් හයක්. දියණිය ආරාධ්‍යාට තවමත් වයස අවුරුදු අටයි. මුලදී අම්මයි දුවයි දෙන්නම රෝගය ඇතත් රෝග ලකුණු පෙන්නුම් කළේ නැහැ. ඒ නිසා නිවෙසේදීම නිරෝධායනය වී සිටියා. ඒත් පසුව ඓශ්වර්යාටත් දියණියටත් හුස්ම ගැනීමේ අපහසුතාවක් දරුණු කැස්සක් ඇතිවුණ නිසා දෙදෙනාම අමිතාබ් සහ අභිෂේක් ඇතුළත්කළ නානාවතී රෝහලටම ඇතුළත් කරලා දැන් සුවය ලබමින් සිටිනවා. අමෙරිකාවයි බ්‍රසීලයයි ළඟට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්.

බච්චන් පවුලට මේ රෝගය වැලඳී ඇත්තේ කෝන් බනේගා කරෝර්පති ( මිලියනපතියකු වීමට අවශ්‍ය කාටද? ) ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ප්‍රවර්ධන වැඩසටහනක් ඔහුගේ නිවෙසේ රූ ගත කිරීමේදීයි.

 

*මැඩෝනා සුව අණ නොතකයි

මැඩෝනා පොප් රැජන වුව ද නව කොරෝනා ඉදිරියේදී ඇයට කිරුළ හැර යාමට සිදුවූවා. ගායිකාවක, ගීත රචිකාවක, නිළියක වූ ඇය හැට පැන්නත් තවමත් තාරුණ්‍යයෙන් අගතැන්පත්. ගීත ඇල්බම අලෙවියෙන් ගිනස් පොතෙහි ද නම රැඳවූ ඇය කෝවිඩ් - 19 වසංගතයට ගොදුරු වූයේ සෞඛ්‍ය නීතිවලට අවනත නොවීමෙන්. දිගු කාලීන මිතුරකුගේ සාදයකට ඇය සහභාගීවී ඇත්තේ දුරස්ථ භාවය තුට්ටුවකටවත් සැලකිල්ලට නොගනිමින්. එපමණක් නොව ඇය මිතුරාව වැලඳ ගෙනත් තියනවා. මැඩෝනාවත් සාදයට සහභාගීවූ අනෙක් අයවත් මුව ආවරණ පැලඳලා නැහැ. සමාජ වෙබ් අඩෙවිවලට මිතුරා එක් කළ ඡායාරූපවලින් මැඩෝනා සෞඛ්‍ය නීති සියල්ල උල්ලංඝනය කළ බව ලෝකෙම දැනගෙන. කෝවිඩ් - 19 ට ගොදුරු වීම ඇය ඊට ලද දඬුවමයි.

 

 

2020/07/29 තරුණි බලන්න