කවද හරි එයා වෙනුවෙන් මගේ කටහඬ කැප කරනව කියල හිතුවා.

යුගයක් සැනහූ ආදරණීය ගායිකාව - නිරංජලා සරෝජිනී
ජූලි 29, 2020

නිරංජලා සරෝජිනී ගීතයෙන් ආදරයෙන් ඔබ සිත්ගත් සෞම්‍යවන්තියයි. නිරිංජලා සරෝජනී සිය දිවිය සැරහුම් කළේ කලාවෙන් හා ආදරයෙනුයි.

ආදරයට ආදරය කරමින් සිය දිවියෙහිම ආදර ගඟුළක් මවාගත් නිරංජලා සරෝජිනිය නිසංසලේ ගලාගිය සිය සොඳුරු දිවියේ අමතක නොවන තැන් 'මතක මංපෙත' තුළට මෙලෙසින් මුහුකළේ ගීතයක් ගයන්නා සේම ආදරයෙනි.

නිරංජලා ඔබේ ළමාවිය ගෙවෙන්නෙ කොහොමද?

පොඩිම කාලෙ මම බයිසිකල් පදින්න සරුංගල් යවන්න ආසයි. වොලිබෝල් ගැහැව්වා. වයස අවුරුදු දහයක් විතර වෙනතුරු දඟ කොලු වැඩම තමයි කළේ.

හැබැයි මම හරිම අහිංසකයි. නිර්මලා අක්කයි මායි අතර අවුරුදු තුනක විතර වයස් පරතරයක් තමයි තියෙන්නෙ. අපේ අම්මා කියනව පොඩිම කාලෙත් නිර්මලා අක්කයි මායි අතර රණ්ඩු ඇතිවුණහම අක්කට දිනුම දීලා මම පැත්තකට වෙනවලු.

ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සෙ දඟවැඩ අඩු වුණාද?

කෝට්ටෙ ශාන්ත තෝමස් විද්‍යාලයට තමයි මම මුලින්ම ඇතුළත් වුණේ. ඒක මිශ්‍ර පාසලක්. මම ඉස්කෝලෙ වොලිබෝල් 'බී' කණ්ඩායමේ නායිකාව වෙලත් හිටියා. පාසලේදී ගායනා කළේ නැතිද?

පොඩිකාලෙ මගේ කටහඬ ටිකක් ගොරෝසුයි. මට ගයන්න පුළුවන් කියල මම දැනගෙන හිටියේ නැහැ.

නිරංජලාගේ නව යොවුන් විය ආදරයෙන් සංගීතයෙන් පිරුණ එක්කද?

මම තරුණ වයසෙදි කෙට්ටුයි. නමුත් මා කෙරෙහි පිරිමි ළමයින්ගෙ ආකර්ශනයක් තිබුණා. පසුව මම කෝට්ටෙ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අස්වෙලා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවට ගියා.පාසලට යාබදව තිබුණ සාන්ත ජෝසප් විද්‍යාලයෙ පිරිමි ළමයින්ගෙන් මට ආදර ඇරියුම් තිබුණා. පිරිමි ළමයි ආදරය ඉල්ලගෙන මගේ පස්සෙන් ඇවිත් තියෙනව. ලස්සන නිසඳැස් එහෙම ලියලා ලියුම් දීලත් තියෙනවා. ඒත් දුර දිග ගෙනියන්න තරම් ඒ දේවල් ගැන යොමුවීමක් හිතට ආවෙම නැහැ.

නිරංජලා කියන්නෙ ආදරය ඉල්ලගෙන ආපු පිරිමි ළමයි අතරේ විශේෂ කෙනෙක් හිටියෙම නැහැ කියලද?

ඔව්, එහෙමට කියල විශේෂයක් දැනුණ කෙනෙක් හිටියේ නැහැ. මම ගොඩක් අධ්‍යාපනයට ම තමයි යොමුවුණේ. ඒ හැරුණම මට පාසලේ බාහිර වැඩ බොහොමයක් තිබුණා. පාසලේ තුර්යවාදක කණ්ඩායමේ හිටියා. පෙරදිග වාදක කණ්ඩායමේ සිතාර් වාදනය කළා. සාමාන්‍ය පෙළින් පස්සෙ උසස් පෙළ හදාරන්න පැපිලියානෙ සුනේත්‍රා දේවි පිරිවෙනට ඇතුළු වුණා.

යොවුන් වියට පත් නිරංජලා කැමැති වෙලා හිටියේ මොනවගේ රැකියාවකටද?

තරුණ වියේ මම ගොඩක් ආසාවෙන් හිටියෙ ගුවන් සේවිකාවක් වෙන්නයි. ඒකට හේතුව මම ආසයි රට රටවල සංචාරය කරන්න. නමුත් මට ආසාව තිබුණට ඒකට උත්සාහ කරන්නවත් ලැබුණෙ නැහැ .උස්ස පෙළ කරත්දිම මට මගේ පළමු රැකියාව හිමිවුණා.

නිරංජලාට පාසල් වියේදීම හිමිවුණ රැකියාව මොකක්ද?

76 අවුරැද්දෙ ගුවන් විදුලියට සහන නිවේදකයන් බඳවාගන්නව කියල දැනගන්න ලැබුණා. එතකොට මම උස්ස පෙළ කරනව. ඒත් මම ඒකට අයදුම් කළා. ඔය විදිහට මම ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් විදිහට රැකියාව පටන් ගත්තා. මේ වෙත්දි නන්දා මාලිනියගෙන් සංගීතය හැදැරුවා. ඒ කාලෙ ගුවන්විදුලි ළමා පිටියටත් ගියා. නන්දක්කා තමයි මට ගායන හැකියාවක් තියෙනව කියල හඳුනගත්තෙ. පස්සෙ සංගීත සන්ධ්‍යාව, කනිටු සරසවිය, ළමාරංග පිඨය වැනි වැඩ සටහන් වල ගී ගැයුවා. මම සරල ගී පරීක්ෂණයට පෙනී සිටියෙ77 වසරේ. සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් විදිහට සමත් වෙලා තමයි මම සරල ගී ගායිකාවක් වුණේ.

නිරංජලා ගායිකාවක් විදිහට ඉදිරියට එත්දි නිවේදන වෘත්තියට මොකද වුණේ

ගීත ගයන අතරම නිවේදන කටයුතු කරගෙන ගියා. 86, 87 රටේ කලබල කාලයක් එනකම්ම මම නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

87 න් පස්සෙ නිවේදන වෘත්තියට සමුදුන්නද?

අපිට සමුගන්න සිද්ධ වුණා. රටේ තිබුණේ බොහොම කලබලකාරී වාතාවරණයක්. ඒ වෙලාවේ අපිට විවිධ තර්ජන කරලා ලියුම් ආවා .් ඒ හේතුව මත අබෙයි මායි රැකියාවෙන් අයින් වෙලා එංගලන්තයට ගිහින් මාස 6 ක් එහෙ ඉඳල තමයි ලංකාවට ආවේ. ඊට පස්සෙ අපි හිතුවා ගායක ගායිකාවන් විදිහට විතරක් වැඩ කරනව කියල. අපි දෙන්නගෙ ගීත ඇතුළත් සංයුක්ත තැටි කරන්න ගත්තා. මේ වෙත්දි අබෙයි මමයි සංයුත්ත තැටි 17 ක් නිකුත් කරල තියෙනවා.

 

2020/07/29 තරුණි බලන්න