සුරංගීට දුක හිතුණා කියා පේ‍්‍රමකීර්ති ලියූවත් දැන් සුරංගීට දුක හිතෙන්නේ නැත

අගෝස්තු 5, 2020

ය සුරංගී ද අල්විස්. ඒ කියන්නේ අපේ රටේ කවුරුත් දන්නා හඳුනන, අදටත් කවුරුත් ආදරය කරන අකල් සමයක නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩිපහරට ලක්ව මිය ගිය ප්‍රවීණ මාධ්‍යෙව්දියකු, ගී පද රචකයකු, ගුවන් විදුලි සංනිවේදකයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ දියණියයි.

ඇගේ මව ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක, වැඩසටහන් සම්පාදිකාවක, මෙන්ම ජනප්‍රිය ගී පද රචිකාවක් වන දයා ද අල්විස්. සුරංගි ගැන සිහි වෙන හැම මොහොතකම මට යාන්තම් සේයාවක් සේ මතක් වන්නේ ඇය නුගේගොඩ පෞද්ගලික පන්තියකට ආ යුගයයි. එකල මා සිංහල පන්තියට යන්නට සිටින විට ගණකාධිකරණ පන්තියට යන්නට ඒ පෝලිමේ සිටින ඇයව යෙහෙළියක පෙන්වූයේ අර ඉන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ දුව කියාය. එකල කිහිප වරක්ම ඇය හා කතා කරන්න ද සිත් වුවද එය මඟ හැරිණි.

කාලය ගෙවී ගොසිනි. දැන් අපි නිතර කතා කරන්නෙමු. ඒ කඳුළක සේයාවක් වත් නැති ඇගේ කටහඬ නිරවුල්ය. ඇය කතා කරන්නේ මුව පුරා හිනැහෙමිනි. නමුත් සුරංගි ගැන සිහිවෙන හැම මොහොතකම මට මතක් වෙන්නේ මේ ගීතයයි.

සුරංගීට දුක හිතුණා

යටි තොල කනපිට හැරුණා

මුහුණ රෝස පාටින් පිරුණා

කඳුළු පේළියක් වැටුණා..

සුරංගීගේ තාත්තා එහෙම ලියන්නේ පුංචි සුරංගීට කරාබු දෙකක් කන් පැළඳවූ දිනය ගැන හිතලා. ඒත් සුරංගීගේ පුංචි කන් පෙත්තට කටුවෙන් අනිනවාටත් වඩා හද පාරවන වේදනාවක් දරන්නට වුයේ යොවුන් වියේදීය. ඒ අදින් තිස් එක් වසරකට පෙරය.

ගෙවී ගිය කාලය තුළ සුරංගී තුළ වූ ඒ අහිමි වීමේ දුක තවමත් එසේම සිත කොණක තිබෙන බව හැඟුණේ ඇය හා කතා බහ කිරීමේදී.

“ගෙවුණ ජූලි 31 වැනිදාට තාත්තා නැති වෙලා අවුරුදු තිස් එකක් වුණා. මට මතකයි ජූලි පළමුවැනිදා උදේ පහට විතර වික්ටර් අන්කල් ( වික්ටර් රත්නායක) අපේ ගෙදර ආවා. අම්මා දොර ඇරන් එළියට ගියා. ඒ එක්කම අම්මා අඬාගෙන ගෙට ආවා. මම කාමරෙන් එළියට ආවේ මොකක් හරි ලොකු දෙයක් වෙලා කියලා හිතුණ නිසා. වික්ටර් අන්කල් තමයි තාත්තා නැති වුණා කියන පණිවිඩය අපට අරගෙන ආවේ. අපි හිටියේ මහරගම නාවින්නේ ගෙදර. ඊට කලින් දවසේ තාත්තා අපිව බලන්න ආවා. මම බල්ලා අසනීප වුණාම තාත්තාගෙන් තමයි බෙහෙත් අහ ගන්නේ. එදත් තාත්තා කිව්වා එන ගමන් බෙහෙත් අරන් එන්නම් කියලා. තාත්තා 31 හවස දෙකහමාරට විතර ගෙදර ආවා. පුංචි වෙලාවයි ගෙදර හිටියේ. වෙනදා වගේ නෙමෙයි එදා තාත්තා හිටියේ ලොකු කල්පනාවක. හැමදාම තාත්තා ඇවිත් ආපහු යනකොට පටු පාර දිගේ වාහනේ යන්නේ රිවස් එකට. එහෙම ගිහිල්ලා අන්තිමට තාත්තා මට අතවනා ගෙන යනවා. මම හැමදාම තාත්තා ඇවිත් යන දිහා බලාගෙන ඉන්නවා ඔහු අන්තිමට අත වනන තුරු . එදත් මම බලාගෙන හිටියා. ඒත් තාත්තා වෙනදා වගේ අත වැනුවේ නෑ. තාත්තා හිටියේ ලොකු කල්පනාවක. ඒ නිසා වෙන්න ඇති එහෙම වුණේ. මොනවද තාත්තේ කල්පනා කරන්නේ කියලා අහන්න මට බැරි වුණා. අද මට හිතෙනවා එදා තාත්තා කුමක් හෝ ලොකු ප්‍රශ්නෙක ඉන්න ඇති කියලා. අපිට නොකිව්වේ අපි බයවෙයි කියලා හිතෙන නිසා වෙන්න ඇති. තාත්තා බල්ලාට බෙහෙත් ගේනතුරු මං බලාගෙන හිටියට එදා හවස තාත්තා ගෙදර ආවේ නෑ. ඒ තමයි මට තාත්තා ගැන තියෙන අන්තිම මතකය.''

ඇය වාසනාවන්තය. ඒ ඇගේ පියා මෙන් ම මව ද මේ රටේ ජනප්‍රිය කවුරුත් අගය කරන නිර්මාණ ශිල්පීන් දෙපොළක් නිසා.

''අදටත් මගේ තාත්තාව කවුරුත් අගය කිරීම මට සතුටක්. තාත්තා නිසා මගේ ජීවිතයට වටිනාකමක් ලැබී තිබෙන බව ඇත්ත. ආඩම්බරයක්. ඒත් මාධ්‍යවේදියෙක් ගීත රචකයෙක්, නිවේදකයෙක් කියන තැන තියලා නෙමෙයි මම මගේ තාත්තා ගැන හිතන්නේ. අදත් මගේ තාත්තා හිටියා නම් මට සෙනෙහස රැකවරණය ලබා ගන්න තිබුණා. මම උප්පත්තියෙන්ම භාග්‍යවන්තියක්. ඒ මේ වගේ මවකගෙත් පියකුගේත් දියණියක වෙන්නට ලැබීම. ඒත් මේ දෙදෙනා සමඟ එක වහළක් යට ජීවත් වීමට වාසනාව නැති වීම ගැන මට අදටත් දුකක් තියෙනවා. තාත්තා මා ළඟ හිටියා නම් කොයිතරම් හොඳද කියන සිතිවිල්ල මේ මොහොතෙත් මගේ හිතේ තියෙනවා. ''

සුරංගි කියන්නේ හැඟීම්බරව. පියාගේ වෙන්වීම නිසා තනි වූ ඇයට අම්මාත් තාත්තාත් දෙදෙනාම වූයේ අම්මා. ඒ අම්මා දිරිය ගැහැනියකි. ඇය දයා ද අල්විස්.

“අම්මයි තාත්තයි ඈත් වෙලා හිටියත් අම්මා මගේ ජීවිතයේ තීන්දු තීරණ ගත්තේ තාත්තාත් එක්ක කතා කරලා. ඈතින් ඉඳලා හරි අම්මාට උපදෙසක් ගන්න තාත්තා හිටියා. ඒත් ජීවිතේ මඟ හැරිලා ගිය තාත්තාව හිටිහැටියේ නැත්තටම නැතිවෙලා ගියා. අම්මාට තනියම තිරණ ගන්න වුණා. මම විවාහ වෙනකොට දරුවෝ ලබන කොට අම්මාට වගේම මටත් තාත්තා නැති අඩුව දැනුණා. මට මතකයි මට ලොකු පුතා ලැබුණාම අම්මා එක පාරටම කිව්වේ තාත්තා හිටියා නම් මොනවගේ සින්දුවක් ලියයිද කියලා. සමහර වෙලාවට මගේ දරුවන්ගේ දිහා බලලා අම්මා කියන්නේ අද සීයා හිටියා නම් කියලා. මගේ ලොකු පුතා සචින්ද්‍ර නානායක්කාර. පොඩිපුතා සවීන්ද්‍ර නානායක්කාර. ලොකු පුතා මේ වන විට උපාධිය හදාරනවා. ඊට අමතරව ඔහු මගේ මහත්තයාගේ ව්‍යාපාර බලා ගන්නවා. පොඩි පුතාත් තවම ඉගෙන ගන්නවා. මුලදී පොඩි පුතා නිවේදන කලාව පැත්තට යොමු වී සිටියා. නමුත් දැන් මට දැනෙන විදිහට ඔහුත් ව්‍යාපාර පැත්තටම යොමු වෙයි වගේ . “

 

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.