මා මෙන්ම මගේ රට ලැබූ ජයග්‍රහණයක්

Earth Day Network තානාපතිනි මිෂෙල් දිල්හාරා
අගෝස්තු 12, 2020

පරිසර දූෂණයට එරෙහිව නැඟී සිටින රංගන ශිල්පිනියට සුවිශේෂී තනතුරක්

මිෂෙල් දිල්හාරා, මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති යොවුන් නිළියකි. ඇය, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ ටෙලි නාට්‍යයේ අයෝමාගේ චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබා ගත්තාය.

එමෙන්ම එමී, සල්සපුනා, සිඳු වැනි ටෙලි නාට්‍ය කිහිපයකටම ඇය රංගනයෙන් දස්කම් දක්වන්නට සමත් වූවාය.

පුංචි තිරය වර්ණවත් කරන මේ හුරුබුහුටි තරුණිය ගැන අද කියන්න යන්නේ වෙනස්ම කතාවක්. තවමත් 24 වැනි වියේ පසුවන ඇය නිළියක පමණක්ම නොව සමාජ සේවිකාවිකි. එමෙන්ම පරිසර දූෂණයට එරෙහිව නැඟී සිටින්නියකි. ඇයගේ මේ ආකල්ප සහ හැකියාව නිසාම ඇයට වටින කියන තනතුරකුත් පසුගිය දා ලැබිලා. ඒ ගැන දැන ගන්නත් එක්කම මිෂෙල්ව සොඳුරු කතා බහකට එක් කර ගත්තා.

මොකක් ද ඔබට මේ ලැබුණ තනතුර?

Earth Day Network  ජාලය දැනට ලෝකයේ තිබෙන ලොකුම පාරිසරික සංවිධානයක්. එය රටවල් 193 ක පමණ සංවිධාන 75,000 ක් සමඟ ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් 22 වන දින සමරනු ලබන ලෝක මිහිකත දිනය නිල වශයෙන් ලොව පුරා සමරන්නේ Earth Day Network ජාලයයි. Earth Day Network  ආයතනයේ ගෝලීය උපදේශක කමිටුවේ අමෙරිකානු නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ, එඩ් බෙග්ලි ජූනියර්, අමෙරිකානු 45 වැනි උප ජනාධිපති ඇල් ගෝර්, 68 වැනි අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, බොලිවුඩ් නළු අනිල් කපූර් සහ ඉන්දීය ව්‍යාපාරිකයකු වන ආනන්ද් මහින්ද්‍රා වැනි අය එහි තනතුරු දරමින් සිටී. Earth Day Network ආයතනයේ වත්මන් සභාපති හිටපු පරිසර නීතිඥ කැත්ලීන් රොජර්ස් වන අතර නිෂු කෞල් සහ කරුණා සිං ඉන්දියාවේ Earth Day Network
 ආයතනයේ දකුණ සහ අග්නිදිග ආසියාවේ අධ්‍යක්ෂ සහ Earth Day Network  ආයතනයේ කලාපීය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා.

ජනප්‍රිය ඉන්දියානු නිළි ජුහි චව්ලා ඉන්දියාවේ Earth Day Network  තානාපති ලෙස පත් කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි තානාපති ධූරය මට හිමි වුණා. එය මට මගේ රටේ පරිසරය රැකගන්න ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම එය මා මෙන්ම මගේ රට ලැබූ ජයග්‍රහණයක් යැයි මම හිතනවා.

Earth Day Network  ආයතනයෙන් සිදු වන්නේ කුමක් ද?

Earth Day Network  ආයතනයෙන් ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනකායක් දිරිගැන්වීම සහ ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා නව පරපුරේ පරිසර ක්‍රියාකාරීන් බිහි කිරීමයි. පළමු ලෝක මිහිකත දිනය සමරා තිබෙන්නේ 1970 දී. 2020 දී සැමරුවේ Earth Day Network  ආයතනයේ 50 වැනි සංවත්සරයයි. සෑම රටකින්ම එක් එක් තානාපතිවරුන් පත්කරන්නේ එම රටවල්හි පාරිසරික ගැටලු සාකච්ඡා කොට ඒ පිළියම් යෙදීමටයි.

2020/08/12 තරුණි පුවත්පත බලන්න