අදත් මම ජීවිතය ම කැප කරන්නේ පාරම්පරික උරුමය රැකගන්නයි

ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පිනී ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ
අගෝස්තු 19, 2020

සීතල කඳු වළල්ලෙන් වටවුණු කන්ද උඩරට රාජධානියේ අමුණුගම ගම් පියසේ ‘මධ්‍යම ලංකා නාට්‍ය මණ්ඩලය’ නම් වූ හරි අපූරු සෞන්දර්යය කලායතනයකි. නර්තන, ගායන, වාදන ස්වරයන්ගෙන් නිරතුරුවම කම්පිත වන මේ බිම්කඩෙහි වැයෙන බෙර පදයට ඕ තවමත් තාල තබන්නීය.

තමන්ට වඩා ඉතාමත් ළාබාල එමෙන්ම තුරුණු, ජවාධික සිසු සිසුවියන් සමඟ හරි හරියට නර්තනයේ යෙදෙන, බෙරය තාලයට වයමින් හඬ නංවන ඇයට වෙහෙසක් නොදැනෙන ගාණය. බහ තෝරන පුංචි ළදැරියකගේ වියේ පටන් මේ බිමෙහි ඇය පෑ නර්තන, ගායන, වාදන විස්කම් කොපමණද? ඇයගෙන් ගුරුහරුකම් ලැබූ සිසු සිසුවියන් කොතරම්ද?

ඇය අපේ රටේ ප්‍රවීණ නර්තන ආචාර්ය වන වෛද්‍යවතී රාජපක්ෂ. ශාස්ත්‍රපති, දර්ශනශූරී, ලේඛකත්ව හා ජනසන්නිවේදනය පශ්චාත් උපාධිධාරිනියකවන ඇය සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු ආචාර්යවරියක ද වන්නීය. බාහිර කථිකාචාර්යවරියක ලෙසින් තවමත් එහි සිසු පිරිසට දැනුම බෙදාදෙන අතරවාරයේ ඇයගේ කාලවේලාවෙන් වැඩි කොටසක් වැයකරන්නී කලායතනයේ කටයුතු සඳහාය.

සම්ප්‍රදායික නර්තන කලාව සේම නව නර්තන නිර්මාණකරණය හරහා ශ්‍රී ලාංකේය අභිමානය ලොවට රැගෙන යන ඇය ගැනයි අද අපි මේ ඔබට කියන්නේ.

අපේ පරපුර

මහනුවර ශ්‍රී දළදා මන්දිරයේ තේවා කටයුතු වාගේම දළදා පෙරහරේ නර්තන උරුමයන් සහිත අමුණුගම පරම්පරාවෙන් පැවත එන අමුණුගම සුරඹා රාජපක්ෂ කියන්නෙ මගේ පියා. සුමින්දා තාරුකාරත්න කියන මගේ මවත් නර්තන පරපුරකින් පැවත එන්නියක්. ඇයගේ ගම රඹුක්කන කිරිවල්ලපිටිය.

වෛද්‍ය ශාස්ත්‍රය වාගේම සම්ප්‍රදායික නර්තන, ශාන්තිකර්ම, බෙර වාදන ශිල්පියකු වූ මගේ පියා වාගේම මවත් නර්තන ශිල්පයට කැපවුණා. ඉතින් ළාබාල දවසේ ඉඳන්ම බෙර, දවුල්, උඩැක්කි, පන්තේරු හඬ වාගේම නර්තන තාල රටා අපිට හරිම හුරුපුරුදුයි.

මගේ පවුල

මගේ පවුලේ වැඩිමලා අයියා. ඔහු සුරමේඝ රාජපක්ෂ. දෙවැන්නී මම.

මට බාල අතෝධ්‍යා සහ අයිරාංගනී නංගිලා දෙන්නයි, වේපචිත්‍ර, විද්‍යාධර මල්ලිලා දෙන්නයි.

අම්මා, තාත්තා වාගේම අපි සහෝදර සහෝදරියන් හයදෙනෙත් නර්තන කලාව සහ මේ කලායතනය වෙනුවෙන් තමයි කැප වුණේ.

 

ඡායා - ශාන් රූපස්සර

2020/08/19 තරුණි බලන්න.