දිවි රඟමඬලින් සමුගත් 'රතු හැට්ටකාරි'

ඔක්තෝබර් 28, 2020

අනුලා බුලත්සිංහල යන නමත් සමඟින් අපේ මතකයට නැගෙන්නේ සොඳුරු ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද වේදිකාව මත අපූර්ව පෙළහරක් පෑ ගැහැනියකි. ෙවිදිකාව වූ කලී සජීවී රංගනයක් දැකගත හැකි ස්ථානයකි. මෙහි වැරැදීම් විය නො හැකිය. ඒ නිසාම බොහෝ විට අපිට හමුවන්නේ මින් එක් අංශයකින් වේදිකාව ආලෝකවත් කරන ළඳුන් ය. එහෙත් අනුලා බුලත්සිංහල රඟපෑමෙන් පමණක් නොව ගායනයෙන් ද වේදිකාවට ගෙන දුන්නේ එළියකි. ඈ වේදිකාව මත ඒ සියල්ලම අපූර්ව ලෙසින් ප්‍රේක්ෂකයාට විඳින්නට සැලස්වූ කලාකාරිනියකි. වේදිකාවේ දී ඇගේ ගායනය, නර්තනය සේම අභිනය ද ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කළ බව නො රහසකි.

1974 දී ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත් සිංහලයන් අතින් නිර්මාණය වූ 'රතු හැට්ටකාරි' වේදිකා නාට්‍යයේ 'රතු හැට්ටකාරිය' ඇයයි. එනිසාම මුළුමහත් ප්‍රජාවම ඈ හඳුනන්නී 'රතු හැට්ටකාරි' ලෙසිනි. ඕ අසනීප තත්ත්වයෙන් පසුවී, පසු ගිය දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිය දිවි රඟ මඬලින් සමුගත්තාය.

විවාහයට පෙර අනුලා මෙන්ඩිස් නමු වූ ඇය මාදම්පේ සුගතානන්ද මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පසුකලෙක ඇය ප්‍රවීණ කලාකරු පණීභාරතයන් යටතේ නර්තනය හදාරා ඇත. සතොස ආයතනයේ රැකියාවක් කරමින් සිටින අතර ඈ වේදිකා රංගනයට අත් පොත තබා තිබේ. ඒ 1967 දී ඇයට විසි වියේ දී ප්‍රවීණ නාට්‍යවේදී සුගත් සමරකෝන්ගේ 'ලෙඩෙක් නැති ලෙඩක්' ෙවිදිකා නාට්‍යයට දායකවෙමිනි. ඉන්පසු වේදිකාවට පමණක් සීමා නොවූ ඇය සිනමාවේ හා පුංචි තිරයේ දී ද සිය හැකියාවන් ප්‍රකට කළාය.

හැමෝම දන්නා 'රතු හැට්ටකාරි' ට අමතරව 'තාරාවෝ ඉගිලෙති', 'මධුර ජවනිකා', 'කු‍වේණි', 'මහාසාර', 'චරිත දෙකක්' වැනි වේදිකා නාට්‍යවලට ද ඈ දායක වූවාය. 'රතු හැට්ටකාරි' ගෙන් පසුව ඈ වඩාත් ජනපි‍්‍රය වූවේ 'තාරාවෝ ඉගිලෙති' වේදිකා නාට්‍යයෙනි. හෙන්රි ජයසේනයන්ගේ කුවේණි වේදිකා නාට්‍යයේ මානෙල් ජයසේන රංගවේදිනිය නොමැති විටක ඈ කුවේණිගේ චරිතය ට පණ පෙවීය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මහාසාර' වේදිකා නාට්‍යයේ 'මාහාසාර බිසව' ඇය විය. ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ජයවර්ධනගේ 'මධුර ජවනිකා' හි ඇගේ ගායනයෙන් හා නර්තනයෙන් වේදිකා නාට්‍ය ප්‍රේක්ෂක සිත් වශී කළාය.

වේදිකා නාට්‍ය රංගනය උදෙසා ඇගේ මෙහෙවර ඇගැයීම වෙනුවෙන් මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ දී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන 'නාට්‍ය කීර්ති' සම්මානය ද ඇයට හිමිවිය.

'නිල් දිය යහන', 'ගෝල්' වැනි සිනමාපටවලින් ඇගේ සිනමා රංගන කුසලතාව කැපී පෙනිණි. මෑතක දී තිරගත වූ අසන්ධිමිත්තා සිනමාපටයට ද ඈ රංගනයෙන් දායක වූවාය.

'දී කිරි දී කිරි', 'නෙයිනගේ සූදුව', 'රඟහල දැන් ඇත අඬ අඳුරේ', 'පන්සල පාමුල', 'බුදුන් වඳීන මේ දෑතින්', 'සුදු ඔසරිය ඇඳලා' වැනි ගීත ඇගේ අනන්‍යතාව සලකුණු කළ ගායනයන්ය.

ඇය ප්‍රවීණ රංගන ශිල්පී, නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ බිරියයි. කලකට ඉහත දී රංගන ශිල්පිනියක ලෙසින් ප්‍රකට වූ ඉන්ද්‍රචාපා සහ රංගන ශිල්පියකු හා ගායකයකු වන හර්ෂ බුලත්සිංහල ඇයගේ දරු දෙදෙනාය.

1947 වසරේ සැප්තැම්බර් 21 වැනිදා ඉපදුණූ ඇය මිය යනවිට 73 වැනි වියේ පසු වූවාය. අනුලා බුලත්සිංහල කලාකාරිනියට තරුණී වෙතින් දැයේ කාන්තාවනගේ උත්තමාචාරය මෙලෙස සටහන් කරන්නෙමු.

 

ඡායා  - දයාන් විතාරණ

2020/10/28 තරුණි බලන්න.