අම්මාගෙ ගුණ සුවඳ මේ ඇල්බමය පුරා සදහට ම පවතීවි

- සනුක වික්‍රමසිංහ
මැයි 19, 2021

සංගීත පරපුරක වර්තමාන උරුමය රැගත් ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ වත්මන් යොවුන් පරපුරේ හදවත් සොරාගත් ප්‍රේමණීය හඬ පෞරුෂයකින් හෙබි යෞවනයෙකි.

මව් කුසයේ සිට ම සංගීතය ශ්‍රවණය කරමින් එහි රස පහස විඳිමින් නැළවුණු සනුක සිය හඬ රසික හදවත් බැති ගීතයෙන් සනසනු පිණිස මේ දිනවල සූදානම් වෙමින් සිටී. තව දින කිහිපයකින් උදාවන සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක් පොහොය නිමිත්තෙන් සනුක එළිදක්වන එම බැති ගී පිළිබඳව ඔහු සමඟ තරුණී කළ කතා බහයි මේ.

සනුක අලුත් වැඩක් කරන බවට ආරංචියි?

ඔව්, එළැඹෙන වෙසක් පුන් පොහොය නිමිති කර ගෙන ගීත 10කින් යුතු ගීත ඇල්බමයක් නිකුත් කරන්න සූදානම් වෙනවා. මේ වෙනකොට 90%ක් වැඩ අවසන් කරල තියෙන්නෙ.

කොපමණ කාලයක් මේ සඳහා ගත වුණා ද?

මේ වෙනකොට පූර්ණ වශයෙන් ම මාස 6ක් ගත වෙලා තියෙනවා.

යෞවනයේ ප්‍රේමවන්තයින් ප්‍රේමවන්තියන් සිය ප්‍රේමණීය හඬින් සනසවමින් සිටි ඔබ එක්වරම බැති ගී ගායනය වැනි මාතෘකාවකට යොමු වුණේ කොහොම ද?

ඇත්තටම මේක මගේ හිතේ බොහොම කාලයක සිට තිබුණු අදහසක්. අපේ ගෙදර අපි නිදහසේ ඉන්න වෙලාවට අම්මයි තාත්තයි එයාලගෙ පුංචි කාලයේ රස මතක අවදි කරනවා. ඒ වෙලාවට ඔවුන්ගේ කුඩා අවදියේ තිබූ භක්ති ගීත ගායනා පිළිබඳව නිතර මකත් කරනවා සහ ඒ භක්ති ගීත ගායනා කරනවා. මමත් මල්ලිත් ඒවා අහගෙන ඉන්නවා. ඇත්තටම ඒවා හරි ලස්සනයි. විශේෂම කාරණය තමයි මේ ගීත අපේ සීයා ඒකියන්නෙ මගේ තාත්තාගෙ තාත්තා කළ නිර්මාණ. ඒවා සීයගෙන් පසු අපේ අම්මා සහ තාත්තා ගායනා කරනවා මිසක වෙන කොහෙවත් පටිගත වෙලා නෑ. ඉතිං ඒ වගේ වටිනා නිර්මාණ අභාවයට යෑම වළක්වා ගැනීමත් මේ බැති ගී ඇල්බමය නිකුත් කිරීමේ එක් අරමුණක් වෙනවා.

තවම කිව්වෙ නෑනෙ මේ බැති ගීත ඇල්බමයෙ නම

මම මේ ඇල්බමය නම් කළේ ‘බැති ගී දයාව‘ ලෙසයි. දයා කියන්නෙ මගේ සීයාගෙ නම. සීයා දයා වික්‍රමසිංහ. ඔහුට කරන ගෞරවයක් විදිහට යි ඒ නම දැම්මෙ.

ඔබේ සීයා ඇත්තමට ගෞරවනීය චරිතයක්. ඔබට ඔහුව මතක ද?

ඔව්. ඇත්තටම මට සීයාව ඇසුරු කරන්න කාලයක් ලැබුණා. සීයා සංගීත භාණ්ඩ වාදනය කරනවා, සංගීත පංති පවත්වනවා මට මතකයි. ඒත් ඒ කාලයේ මම පොඩි දරුවෙක් සහ මේ තරම් ගීත ක්ෂේත්‍රයට පෙම් බැඳි චරිතයක් වුණේ නැහැ. ඒ නිසා සීයාගෙන් ලබා ගන්න තිබුණු මහා ලොකු දැනුම් සම්භාරයක් ලබා ගැනීමට මට නොහැකි වුණා. ඇත්තට ම අද දවසේ සීයා හිටියානම් කියලා මට නොයෙක් වෙලාවලට හිතෙනවා. සීයා හිටියා නම් මම දිහා බලල සීයා ගොඩාක් සතුටු වෙයි.

මේ ඇල්බමය සඳහා ඔබ ගීත තෝරාගත්තේ කොහොමද?

මේ ගීත දහයම මගේ සීයා ගායනා කළ සීයා පද රචනය කළ සහ සීයා විසින් ම තනු නිර්මාණය කළ ගීත.

එතුමාගේ ගීත කිසිවක් පටිගත වී නැහැ කිව්වා නේද?

ඔව්. ගීත කිසිවක් පටිගත වෙලා නැහැ. ඒත් එතුමාගේ භක්ති ගීත කණ්ඩායමේ සිටි ගායන ශිල්පියෙක් සහ ශිල්පිණියක් තමයි අපේ අම්මා සහ තාත්තා. ඒ දෙන්නාට බොහෝ ගීත පාඩම්. ඒ ගීත තමයි අම්මා තාත්තා නිතර නිතර ගෙදර ගායනා කළේ. ඒ විදිහට කාලය ගත වෙනකොට අපේ ආච්චිට හමුවුණා සීයා ප්‍රින්ට් කළ භක්ති ගීත ගායනා පොතක්. මම ඒ පොත හොඳින් පරිශීලනය කළා. එයින් පසුව මම හිතුවා මේ ඇල්බමයේ කාර්යය තවත් ප්‍රමාද කරන්නට හේතුවක් නැහැ කියලා. මේ ගීතවල බොහෝ තනු සහ පද රචනා අම්මා සහ තාත්තා දෙන්නාට ම මතකයි. ඉතිං මම ඇල්බමය නිර්මාණය සඳහා සූදානම් වුණා.

මේ කණ්ඩායමේ ඉන්න ඔබේ සහායකයින් කවුද?

වොයිස් ටීම් තරගයට ඉදිරිපත් වුණු මගේ කණ්ඩායමේ සිටි 10 දෙනෙක් මම මෙහි පසුබිම් ගායනය සඳහා තෝරා ගත්තා.

හෂේන් දුලාංජන, හේසර බණ්ඩාර, දුල්මින් වික්‍රමසිංහ, දසිත් ජයසිංහ, පැතුම් සාලින්ද, සහන්දි හංසාංජලී, සිව්මිණි ඔපයංගි, ලිහිණි මිනෝදා, නර්තනා දසුනි, ඉසුරින්දි ද සිල්වා ඒ දස දෙනා යි. ඊට අමතරව මගේ තාත්තා සංගීත් වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ගායනයෙන් සහය වෙනවා.

ඔබේ පවුලේ සිවු දෙනාට ම ගීත ගායනයේ හැකියාව තිබෙනවා නෙ. ඉතිං ඇයි අම්මා සහ මල්ලි මේ කර්තව්‍යයට හඬ දායකත්වය නොදෙන්නෙ.

මේ ඇල්බම් එක සඳහා මල්ලීව සහභාගී කර ගන්න මම ඉතාමත් කැමැත්තෙන් හිටියා. එත් මල්ලි උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙලා සිටින නිසා එයාට එන්න බැරි වුණා.

එතකොට අම්මා

ඔව්. අම්මගෙ හඬ නම් මේ ඇල්බම් එකෙ නෑ තමයි. ඒත් අම්මාගෙ ගුණ සුවඳ මේ ඇල්බමය පුරා සදහට ම පවතීවි. මොකද මේ කටයුත්ත ආරම්භයේ සිට මේ දක්වා ම අම්මා පුදුම සහයෝගයක් දෙන්නෙ. මා ඇතුළු අපේ කණ්ඩායමේ සියලු අවශ්‍යතාවයන් සොයාබලා ඒ සියල්ල මැනේජ් කරගෙන යන්නෙ අම්මා. ඒ නිසා මටයි තාත්තාටයි මනස නිදහස් කර ගෙන අපේ අවධානය 100%ක් ම ඇල්බම් එකට යොමු කරන්නත් පුළුවන් වුණා. කොහොම වුණත් අම්මාගෙ කටහඬත් ආවානම් තවත් හොඳයි. මේ බැති ගීත අම්මලා කුඩා කාලයේ දී ගායනා කළ සහ අදටත් සවස් කාලවල අපේ පුංචි කැදැල්ලෙ සතුට වෙනුවෙන් අම්මා තාත්තා ගයන ගීත. ඇත්තට ම තාත්තාට අමතක වුණු ගී පද, ගී තනු බොහොමයක් මතක් කරල දුන්නෙත් අම්මා. මේ වගේ ඇල්බමයක් කිරීමේ මූල බීජය මගේ සිතේ ඇති කිරීමේ මූලිකයාත් අම්මා. අද අපි ලෝකයේ බොහෝ තතු දෑසින් දැක ගත්තත් ඇත්තට ම අම්මා තමයි මගෙත් මල්ලිගෙත් ලෝකය. එයා ඒ තරම්ම ආදරණීය අම්මා කෙනෙක්.

ඔව්. ඒ ගැන අටුවා ටීකා කුමට ද? ඇගේ හදවත ඒ තරම් ම ආදරණීය නොවන්නට සනුකට සහ ඔහුගේ පියාට මෙලෙස කලා කටයුතුවල නිරත වීමට අවකාශයක් සහ නිරවුල් මනසක් නොතිබෙන්නට හැකි ය.

ඒ ආදරණීය මව රේණු වික්‍රමසිංහ ය. තාත්තා සංගීත් වික්‍රමසිංහ ය. සංගීත් ද සනුක මෙන් ම සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් තැබූ ගායකයෙක් වාදකයෙන් ශබ්ද පරිපාලකයෙක් වැනි විවිධ ක්ෂේත්‍රයන් ගෙන් දක්ෂතා දැක්වූ දක්ෂ ශිල්පියෙකි ය. සනුකගේ බැති ගී දයාව ගීත ඇල්බමයේ සංගීත අධ්‍යක්ෂවරයා ද බේස් වාදකයා ද සංගීත් වික්‍රමසිංහ ය.

දයා වික්‍රමසිංහ නම් නාමය අද අප අතර භාවිතය ඉතා අවම මට්ටමක තිබුණද එතුමා විසින් මූලාරම්භය ලබාදුන් එතුමන්ගෙන් ගුරුහරුකම් ලැබූවන් බොහෝය. 1955 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධහමුදා පෙරදිග සංගීත කණ්ඩායම ආරම්භ කිරීමේදී එහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස වගකීම් කරමතට ගත්තේ ද එතුමා ය. කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, බෞ ද්ධ බාලිකා විද්‍යාලය වැනි විද්‍යාලවල පෙරදිග සංගීත කණ්ඩායම් බිහි වන්නේ ද එතුමාගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ය. සංගීත් වික්‍රමසිංහ යනු එවැනි පියෙකුගේ දක්ෂ පුත්‍රයෙකි. සනුක වික්‍රමසිංහ යනු ඒ මුත්තණුවගේ ආදරණීය මුනුබුරා ය.

ඉතිං ගහේ කටු උල් කරනු කුමට ද?

දැන් අපට ඇත්තේ ජන්මානු ජන්ම උරුමයෙන් සනුක ලැබූ සහ ඔහු විසින් වැඩි දියුණු කරගත් ගායන හැකියාවන් රසවිදීමටය. ඒ අපූර්ව අවස්ථාව එළැඹෙන වෙසක් පුන් පොහෝදා අපට උදාවන්නේ ය. ශනුකගේ යු ටියුබ් චැනලය හරහා එය රස විදීමේ හැකියාව ලෝ වැසි රසිකයිනට හිමි වන අතර මේ නව බැති ගී ඇල්බමය හා බැඳුණු විශේෂ වැඩසටහනක් එදින සවස 6ට දෙරණ ටී වී ඔස්සේ විකාශය වීමට ද නියමිතයි.