නොමියෙන ගී මතක රැසක් ඉතිරි කර ජිප්සීස් සුනිල් දිවිසැරිය නිම කරයි

*කෝවිඩ් මාරයාගෙන් ගැලවුණත් නියුමෝනියාවෙන් බේරෙන්නට නොහැකිවෙයි
සැප්තැම්බර් 8, 2021

කණ්ඩායම් සංගීත ලොවේ දැවැන්තයකුගේ සමුගැනීම

 

කණ්ඩායම් සංගීත ලොවේ විප්ලවීය වෙනසක් ඇති කළ දැවැන්තයකුගේ වෙන්ව යෑමක් අසන්නට ලැබුණේ සංගීත ලෝලීන් බොහොමයක් සෝ සයුරක ගිල්වමිනි.

ඔහු ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා මෙන්ම සුවිශේෂී හඬ පෞරුෂයකින් යුතු ගායකයකු වූ සුනිල් පෙරේරා කලා කරුවායි.මේ රටේ බාල, තරුණ, මහලු කොයි කා අතරත් අතිශයින් ජනප්‍රිය ගී රාශියක් ගායනා කරමින් සංගීත ක්ෂේත්‍ර යේ නොමැකෙන නාමයක් තැබූ ආදරණීය සුනිල් පෙරේරා අද අපෙන් සදහටම වෙන්වි ගොසිනි.

කෝවිඩ් මාරයා මුළු ලෝකයේම ලක්ෂ ගණනින් මිනිස් ජීවිත බිලි ගනිද්දී එයට ගොදුරු වන්නට සුනිල් පෙරේරාටත් සිදුවිය.

කෝවිඩ් වැලඳීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලකදී කෝවිඩ් වෙනුවෙන් ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලබා නිවෙස කරා පිය නැගුවත් දිනක් දෙකක් යන්නට මත්තෙන් නැවත එම රෝහල ම සොයා යමින් හිමිදිරි උදෑසනක තම දිවිසැරිය නිමා කරන්නට ඔහුට සිදු වූයේ ඉන් අතිවූ නිව්මෝනියා තත්ත්වය නිසාය. මිය යනවිට 68 වැනි වියේ පසු වූ හෙතෙම තවත් දින කිහිපයකින් 69 වසරට පා තබන්නට සැරසී සිටියේය.

 

දින 25ක් ම බිරිය සමඟින් රෝහලේ

දින 25ක් පුරාවට තම බිරිය ද සමඟින් රෝහල්ගතව සිට නිවෙසට පැමිණියේ කෙසේ හෝ කෝවිඩ් මාරයාගෙන් ගැලවෙමිනි. එලෙස නිවෙසට පැමිණි ඔහු වීඩියෝවක් නිර්මාණය කරමින් අන්තර්ජාලයට මුදා හැර තිබිණි. තම අවසන් වීඩියෝවෙන් සඳහන් කර තිබුණේ දෙවියන් වහන්සේ ඔහුට ජීවිත දානය දුන් බවයි.

නවලෝක රෝහලේ අධිපති ජයන්ත ධර්මදාස මහතාට, රෝගීන් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරන වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට, ඔහුගේ දුකසැප සොයා බලමින් හැමදාමත් දිරිදුන් රසික රසිකාවියන්ට ස්තූතිවන්ත වන්නට එය අවස්ථාවක් කරගත්තේය.

එහිදී ඔහු ජේසුතුමන් වෙනුවෙන් ගිටාරය වයමින් ගීතිකාවක් ගයමින් ස්තූති ප්‍රශංසා කරන්නටද අමතක නොකළේය.

 

තමාටම ආවේණික හඬ පෞරුෂයක්

බාල, මහලු කොයි කාගේත් සිත්සතන්වල ලැගුම් ගෙන සිටි ඔහු වේග රිද්මයේ ගීත ප්‍රිය කරන්නවුන්ගේ සිත්වල සනිටුහන් කළ මතකයන් කාලාන්තරයක් පුරාවට පවතිනු ඇත. කුරුමිට්ටෝ, ඕයේ ඔජායේ, පිටි කොටපන් නෝනේ, ලුණු දෙහි, නෝනේ මගේ සුදු නෝනේ, තාත්තා මට ඇනපු ටොක්ක, කොත්තමල්ලි... ඇතුළු ගීත රාශියක් ජිප්සීස් කණ්ඩායමේ අතිශය ජනාදරයට පත් වූ ගීත අතරට එක්විය. සුනිල් පෙරේරා යැයි කියනවාට වඩා ජිප්සීස් සුනිල් යැයි කී විට ඔහුව නොහඳුනන කෙනකු නැති තරම් ය.

ඔහු එක්තරා ලෙසක පුරාවෘත්තයක් (Legend) බඳුය. ඔහුගේ ගැයුම අන් අයකුට සම කළ නොහැකි ය.

එය ඔහුටම ආවේණික වූවකි. දශක පහක් පුරාවට ගීත ගැයුවෙන් පරම්පරා දෙක, තුනකම හදවත්හි ලැගුම් ගන්නට ඔහුට හැකිවිණි.

එයට අමතරව දැන්වීම් කලාවෙහි ඔහුගේ හඬ පමණක් නොව රුවද කැපී පෙනෙන ලෙස නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නට ඔහුට හැකිවිණි.

 

 

හැමදාමත් තරුණයි

ජිප්සීස් සුනිල් කවදත් වයසට නොගිය කෙනෙකි. වසරින් වසර ගෙවී යත්ම උදාවන උපන්දිනයන් ඉලක්කමකට පමණක් ම සීමා විය. ඔහු හැමදාමත් තරුණය. වැඩ කිඩ ද තරුණය.

හදවතින් ඊටත් වඩා තරුණය. තාරුණ්‍යය ද මැනවින් විඳි ඔහු

ඉන් නොනැවතී හැමදාට ම ගෙවුයේ විනෝදබර ජීවිතයකි. සංගීතය ඊට හොඳම අත්වැලක් විය. ඔහුගේ කතාව කෙලින් ය. රටේ දැවැන්ත දේශපාලනඥයින් පවා විවේචනය කරන්නට කිසිසේත්ම පසුබට නොවූ හෙතෙම ඒ සඳහා ප්‍රහසන චිත්‍රපටවලට ද දායක විය. ඒවා හි ගැයූ ගීත විවාදාත්මක ය.

 

මේ වාසනාව මට ලැබුණේ විශ්ව ශක්තියෙන්

සංගීතයෙන් තමා ලද ජීවිතය හුදෙක් ම විශ්ව ශක්තියේ බලමහිමයෙන් ලැබුණක් බව පුනපුනා පැවසුවේය.

එහි දී තම පියාගෙන් ලද මඟපෙන්වීම කෙරෙහි පසුකලෙක ඔහුට තිබුණේ පුදුමාකාර දයාර්ද බවකි. එය ඔහුට වැටහුණේ තමා ද පිය පදවියට උරුමකම් කියූදාය. 'තාත්තා මට ඇනපු ටොක්ක...' ගීතය ඉතාම සරල අකුරු කිහිපයකට සීමා වුවත් තම පියා කෙරෙහි තිබුණු ගෞරවය මැනවින් කියාපෑමට එම ගීතයට හැකිවිණි. ඇන්ටන් පෙරේරා සහ ඩොරින් පෙරේරා මාපිය යුවළට දාව 1952 සැප්තැම්බර් 14 දාක මොරටුවේ දී උපන් සුනිල් පෙරේරා ගේ පවුලේ සොයුරු සොයුරියන් දසදෙනෙකි.

එක් සොයුරියක් කුඩාකලම මිය ගොස් තිබිණි.

පියල්,‍ නිමල්, නිහාල්, ලාල් යන මේ සොයුරන් ද සුනිල් සමඟින් සංගීතය සමඟින් අත්වැල් බැඳගත් අයයි.

ශාන්ත සෙබස්තියන් සහ ශාන්ත පීතර විදුහල ඔහු අකුරු කළ පාසල් ය.

 

අපූරු විවාහයක්

ඔහුගේ විවාහය හරි අපූරු එකකි. සුනිල් පෙරේරා ඉදිරිපත් කළ සංගීත සංදර්ශනයක් නරඹන්නට ආ රසිකාවියක් සමරු පොතක් (Auto graph) අත්සන් කරන්නට පැමිණියෙන් ඈ පිළිබඳ ඔහුගේ සිතේ ආදර සිතිවිල්ලක් පහළ වුණි. ඔහුට අවුරුදු 30යි. ඇයට අවුරුදු 15යි. බාල වයස්කාර දැරිවියක් පැහැර ගත්තා දෝයි සැකපිට පොලිසිය වෙත කළ කැඳවීමකින් (හෝමාගම පොලීසිය වෙත පස්වරු 4.00ට පමණ) දෙපාර්ශ්වයේ ම මාපියන්ගේ කැමැත්ත මත එදිනම රාත්‍රී 10.00 විවාහ වන්නට සිදුවිය. ඒ 1981 වසරේ දී ය.

ඔහු අවේලාවේ නිවෙසට පැමිණි දිනෙක ඇය යෙහෙළියන් සමඟ ඔට්ටු සෙල්ලම් කරමින් සිටි බව ද ඔහු පවසා තිබේ. නැකැත්, කේන්දර, පොරොන්දම්... මේ ආදි කිසිවකින් තොරව ගලා ආ හරි අපූරු විවාහ ජීවිතය ඔහු මියෙනතුරාවටම හැමදාමත් නැවුම් වෙමින් පැමිණියේය. ඔහු අත ගත් මේ බාලවයස්කාර දැරිවිය ගීතා කුලතුංග වයස අවුරුදු 20ක් වෙද්දී දරුවන් සිව්දෙනාම මෙලොවට බිහිකර අවසන් ය. සජිත්, ගයාන්, රෙහානා සහ මනීෂා යන පුතුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනා තරමක් උස්මහත් වද්දී මව සහ දරුවන් මිතුරු මිතුරියන් මෙනි. එතරම් වයස් පරතරයක් නොතිබීම එයට හේතුවයි.

ගයාන් පුතු Daddy සංගීත කණ්ඩායමේ ඔහුට ම ආවේණිත හඬකින් ගී ගයයි. ඒ පිළිබඳ සුනිල් පෙරේරා සිටියේ ඉතාමත් සතුටිනි.

වසර 51ක් පමණ පැරැණි ජිප්සීස් සංගීත කණ්ඩායමේ ළිඳ ළඟ සංගමය ගීතය මුලින් ම අතිශය ජනප්‍රියත්වයට පත් විය. පළමු කැසට් පටය වූ 'කුරුමිට්ටෝ' රසිකයෝ ඉතාම ආදරයෙන් වැළඳ ගත්හ.

ඔහු දූ දරුවන් සිව්දෙනකුගේ පියෙක් සේම මුණුපුරු මිණිබිරියන් සිව්දෙනෙකු ගේ සීයා කෙනෙකි.

 

කුරුල්ලයි කිරිල්ලියි වගේ

ඔහු තමන් අතින් වූ වරදක් නිහතමානීව පිළිගත් අයෙකි. තම බිරියට මීට වසර ගණනාවකට ඉහත දී 'බිරියකට විය හැකි අන්තිමට අසාධාරණයක් මගේ අතින් සිදුවුණා' යැයි පවසන්නට පසුබට වූයේ නැත.

ඇය මනා ඉවසීමකින්, ආදර්ශවත් බිරියක්, මවක් ලෙස ගෙවන ජීවිතය පිළිබඳ ඔහු අනේක වාරයක් ඇයට පින් දුන්නේය. මියෙන තුරාවට ම තමා කුරුල්ලයි, කිරිල්ලියි වගේ ආදරයෙන් ඉන්නා බව පවසා තිබේ. ඔහුගේ තාත්තා හැරුණු විට ජීවිතයට ශක්තියක් වූ දෙවැනි තාත්තා තම ආදරණීය බිරිය බව හදවතින් ම පවසන්නට ඔහු කිසිවිටෙක නොපැකිළුණේ ය.

තමා හා තම සංගීත කණ්ඩායමේ හැකියාවන් කවදත් ලඝු කොට නො සැලකූ සුනිල් පෙරේරා ඒ සඳහා අය කරන මුදල පිළිබඳ දෙවරක් නොසිතුවේ ය.

එදා ඉහළම මිලක් අය කළ සංගීත කණ්ඩායම ලෙස කටයුතු කළ ජිප්සීස් වුවත් ජිප්සීස් සංගීත කණ්ඩායම සොයා ආ පිරිසගේ අඩුවක් නොවීය. සංගීත කණ්ඩායමේ සගයන් වෙත එම මුදල් ඉතාම සාධාරණ අන්දමින් බෙදා දෙන්නට ද පසුබට වූයේ නැත.

සමාජ සත්කාර වෙනුවෙන් ඔහුගේ සංගීත කණ්ඩායම සොයා එන පිරිසට අඩු මුදලට ගී ගැයුවේ නැත.

ඒ වෙනුවට එවැනි අවස්ථාවල දී නොමිලයේ ම ගී ගැයීය.

 

අසරණයින්ට සියයට 10ක්

තම පියා දුන් ඔවදනට අනුව හරි හම්බ කරගන්නා මුදලින් හැමවිටම සියයට දහයක කොටසක් වෙන් කළේ අසරණයන් වෙනුවෙනි.

 

ජාතිභේද, ආගම් භේද කිසිවක් නැහැ

ඔහුගේ දූ පුතුන්ගෙන් ඇතැමෙක් මිශ්‍ර විවාහ කරගත් අයයි. එක් පුතෙක් මුස්ලිම් ජාතික යුවතියක් විවාහ කර ගනිද්දී එක් දුවක් බෞද්ධ තරුණයෙක් විවාහ කරගත්තේය පල්ලි, පන්සල් නොගියත් ඒ සෑම ආගමක් වෙනුවෙන් ම නිවෙසේ පහනක්, ඉටි පන්දමක් දැල්වේ. ආගම සහ දේශපාලනය ඔවුන්ගේ නිවෙසේ තහනම් මාතෘකා ය.

ඔහු කෙදිනක හෝ ජංගම දුරකතනයක් භාවිත කර නොමැති බව ඇසුවොත් ඔබ පුදුමවේවි.

කෙසේ වෙතත් ගායකයෙක්, සංගීතඥයෙක්, ගීත රචකයෙක්... මේ ආදී ලෙසින් යුග යුග නැළවූ ඔහු දැන් අපෙන් සමුගෙන අවසන් ය.

එහෙත් ජිප්සීස් සුනිල් නාමය කිසිදා නොමියෙනු ඇත. තවමත් මෙලොව එළිය නුදුටු දරුවන් පවා දිනෙකදි මෙම ගීත කෙරෙහි ළබැඳි වනවා නො අනුමාන ය.