සැමියා අකැමැති දේකට මං සම්බන්ධ වෙන්නේ නැහැ

නිරූපණයෙන් රංගනයෙන් ඉදිරියට පැමිණි මහේෂිකා බණ්ඩාර
සැප්තැම්බර් 8, 2021

 

කවරයේ කතාව

මම රංගනයට වඩා වැඩි නැඹුරුවක් දක්වන්නේ නිරූපණ ක්ෂේත්‍රයට. නමුත් මගේ වෘත්තීය වෙන්නේ වෙනම ක්ෂේත්‍රයක්.

 

එයා අකැමැති දේකට මං සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද හැම දේටම වඩා පවුල් ජීවිතයනේ වැදගත් වෙන්නේ.

 

අද මම ලස්සනට ඉන්නේ කිරි අම්මා නිසා

අද තරුණී කවරය සැරසෙන්නේ නව පරපුරේ නිරූපණ ශිල්පියකුගේ සහ ශිල්පිනියකගේ රුවෙනි. මේ අතරින් ඇය මේ දිනවල කතා බහට ලක්වන චරිතයක්.

නීරුපණ ක්ෂේත්‍රයෙත් රංගන ක්ෂේත්‍රයෙත් එක සේ කෑපි පෙනෙන තාරකාවියක් ගැනයි අද කතා බහ කරන්නේ. දෙරණ නාළිකාවේ පංචාලීගේ චරිතය හරහා වැඩි ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය මහේෂිකා බණ්ඩාර.

 

පංචාලී මේ දිනවල වැඩ කටයුතු කොහොම ද?

 

ඇත්තටම මේ කෝවිඩ් වසංගතයත් එක්ක අපිට වැඩ නැතිම තරම්. කලා කරුවන්ට වගේම හැම කෙනෙක් මේ දවස්වල කෝවීඩ් නිසා අපහසුතාවයෙන් ඉන්නේ.

 

කොහොමද කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ...

 

මං මුලින්ම පිවිසුනේ නිරූපණ ක්ෂේත්‍රයට. ඒක වුණෙත් අහම්බයකින්. මගේ පාසල ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය එප්පාවල. පාසලේ තිබුණු උත්සවයකදී ෆෝටෝස් වගයක් ෆේස්බුක් එකට කෙනෙක් දාලා තිබුණා. මගේ ෆොටෝ කිහිපයකුත් ඒ අතර තිබිලා. ඒවා රූපලාවණ්‍ය ශිල්පිනියක් දැකලා මාව හොයාගෙන මට කතා කළා. එයා මගෙ බ්‍රයිඩ්ල් ඩ්‍රසින් එකක් කළා. ඒ ෆොටෝ ෂූට් එක ගොඩක් ජනප්‍රිය වුණා. එකෙන් පස්සේ නිරූපණ ක්ෂේත්‍රය තුළ විශාල වැඩ කොටසක් කරන්න මට අවස්ථාව ලැබුණා. දැන් මං නිරූපණයට ඇවිත් අවුරුදු 4ක් පමණ වෙනවා.

 

ඔබ පුංචි තිරය තුළත් දකින්න ලැබෙනවා..

ඔව්. මට දෙරණ නාළිකාවේ විකාශය වූ රාවණා ටෙලි නාට්‍යයේ පංචාලිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒක තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යක්. අලුත් නිර්මාණයක චරිතයකටත් ආරාධනා ලැබුණා. එම නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යද්දී අතරමග නවත්වන්න වුණෙත් මේ කෝවිඩ් වසංගතය නිසා. කෝවිඩ් වසංගතය අවසන් වූ විගස නැවත රූ ගත කිරීම් පටන් ගනියි.

 

එතකොට ඔබේ වෘත්තීය ලෙස තෝර ගන්නෙත් කලාවම ද?

 

මම රංගනයට වඩා වැඩි නැඹුරුවක් දක්වන්නේ නිරූපණ ක්ෂේත්‍රයට. නමුත් මගේ වෘත්තීය වෙන්නේ වෙනම ක්ෂේත්‍රයක්. මම වෙඩින් ඩිසයිනර් කෙනෙක් විදිහට කටයුතු කරනවා. මංගල උත්සව සැලසුම්කරණය, ඇල්බම් නිර්මාණය සහ ෆොටෝ නිර්මාණය වැනි අංග රාශියක් ඒ යටතේ තියෙනවා. මේ කටයුතුවලට අමතරව තමයි මං කලා කටයුතුවල නියැලෙන්නේ.

 

පවුලේ විස්තර කතා කළොත්..

 

මගේ උපන් ගම එප්පාවල. දැන් පදිංචි වෙලා ඉන්නේ මාලඹේ. මට ඉන්නේ අම්මයි, මල්ලියි, කිරි අම්මයි. කිරි අම්මා ගැන මතක් කරන්නම ඕනේ. එයා තමයි පුංචි කාලේ ඉඳලා මාව බලා ගත්තේ. මගේ අත පය ලස්සනට හැදුවේ එයා. මාව ලස්සන කළේ එයා. අද මං ලස්සනට ඉන්නේ එයා නිසා. මං දැන් විවාහකයි. සැමියා සඳුන් සමන්ත. දැන් ඉතිං එයා තමයි සෙවනැල්ල වගේ හැම දේකටම මගේ ළඟින් ඉන්නේ.

 

රංගනයට පිවිසුණාට ඔහුගේ අකැමැත්තක් නැති ද?

 

ඔහු මාධ්‍ය ආයතනයක සේවය කරන කෙනෙක්. මගේ පළමු ටෙලි නාට්‍යත් ඒ නාලිකාවෙන් කරපු එකක්. ඉතිං ඔහුට කලා ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එයාගේ කැමැත්ත ඇතුව තමයි මම ඕනෑම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. එයා අකැමැති දේකට මං සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද හැම දේටම වඩා පවුල් ජීවිතයනේ වැදගත් වෙන්නේ.

 

මේ ගමන එන්න උදව් කළ පිරිසකුත් ඇති...

 

ඔව්,ප්‍රභාත් අයියව මතක් කරන්න ඕනෙ මුලින්ම. එයා තමයි පාසල් උත්සවයේ ෆොටෝස් ටික ෆේස්බුක් දාලා තිබුණේ. ටීනා විජේතුංග අක්කා තමයි ඒ ෆොටෝස් දැකලා මාව හොයන් ආපු රූපලාවණ්‍ය ශිල්පිනිය. එයාලා නිසයි අද මං මේ තැන ඉන්නේ. ඒ වගේම සුධීරා, රුවන් චම්පික යන අයවත් මතක් කරන්න ඕනේ.

 

ඉදිරි බලාපොරොත්තු...

 

පවුල් ජීවිතේ ලස්සනට ආදරෙන් ගත කරන ගමන් කලාවට සාධාරනයක් කරන්නයක් කරන්නයි මට තියෙන එකම බලාපොරොත්තුව.

 

ඡායාරූප - ප්‍රසංග ජයසේකර