සංගීතයෙන් ලෝකයම හෙල්ලූ ලංකාවේ යොහානි

‘කෙල්ල‘ ඇල්බම් එකෙන් අපේ සමාජයේ කෙල්ල කියන ගැහැනු චරිතය අත්දකින දේවල් කියන්න උත්සාහ කළා
ලබන 09 වැනිදා මගේ අලුත්ම විඩියෝ එක බලන්න පුළුවන්
ඉන්දියාවේ ප්‍රසංග දෙකක්
ඔක්තෝබර් 6, 2021

මා සිත ළඟම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා

 

නව පරපුරේ ගායන ශිල්පී සතීෂාන් රත්නායක සමඟ යොහානි ද සිල්වා ගැයූ මේ ගීතය (කවර් සෝන්ග්) දැන් අපේ රටේ පමණක් නොව ලොව පුරා බොහෝ රටවල බාල, තරුණ, මහලු කොයි කාගේත් තුඩ තුඩ ගැයෙන ගීතයක් බවට පත්වෙලා. සංගීතය, ගීතය විශ්ව භාෂාවක් බව සනාථ කරමින් මුලින්ම තරුණ පරපුර අතරේ වේගයෙන් ජනප්‍රිය වුණු මේ කවර් සෝන්ග් එක කොයි තරම් ජනප්‍රිය වූවාද යන්නට හොඳම උදාහරණය නම් මේ වනවිට එය ලෝකයේ යූ ටියුබ් ගීත දර්ශකයේ හොඳම ගීත 10 අතරින් (YouTube Global Top 10 songs) 5 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති අතර එය ලොව පුරා නරඹා ඇති පිරිස මිලියන 125 ඉක්මවා තිබීමයි.

විශේෂයෙන් ඉන්දියාවේ ජනතාව අතර මේ ගීතය නැරඹීම උන්මාදයක් බවට පත්වී තිබෙන අතර ඉන්දියාවේ විවිධ භාෂා වලින් කර ඇති කවර් සෝන් මිලියනයකට අධික පිරිසක් නරඹා තිබෙනවා.

සැබැවින්ම එසේ වීමට ඇති සුවිශේෂීම කාරණය වන්නේ සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් (බිග් බී) පවා ඇගේ මේ ගීතයට වසඟ වීමයි. බච්චන් තරුණ වියේ රඟපෑ කලීයා චිත්‍රපටයේ ‘ජහාන් තෙරී යේ නසාර් හේ‘ ගීතයේ කොටසක් සමඟ මැණිකේ ගීතය සංස්කරණය කර මුදා හැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් ඔහු ඒ පිළිබඳව ඔහු සිය twitter ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඊට අමතරව මධුරි ඩික්සිත්, ටයිගර් ෂර්ෆ්, පරිනීති චොප්රා, ක්‍රිස්ටල් ඩි සුසා, රාන්විජායි 

සිංහා, නේහා කාකාර්, යාෂ්රාජ් මුක්තා සිය සමාජ ජාලා ප්‍රොපයිල් වල මැණිකේ ගීතයට ප්‍රචාරය ලබා දී තිබෙනවා. කොරියාවේ ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටින BTS පොප් ගායන කණ්ඩායම මෙයට “reaction video” එකක් නිර්මාණය කර තිබීමත් මේ ගීතය ලොව පුරා මොන තරම් ජනප්‍රියත්වයක් ලබා ඇති දැයි යන්නට එක් උදාහරණයක්.

මෙයි ප්‍රතිපලයක් ලෙස යොහානි ඉන්දියාවට ගොස් සැප්තැම්බර් 30 වැනිදා Studio XO, Gurgaon හිදී පළමු ප්‍රසංගය පැවැත්වූ අතර පසුගිය 3 වැනිදා Heart Cup cafe, Gachibowli හිදී දෙවැනි ප්‍රසංගය සාර්ථකව පැවැත්වූවා. මේ එම ප්‍රසංගයට යාමට පෙර යොහානි තරුණී සමඟ කළ කතාබහයි.

 

ඔබේ සම්පූර්ණ නම යොහානි ඩිලෝකා ද සිල්වා. ඔබ වඩාත් කැමැති මොන නමටද?

රසිකයින් මාව දන්නේ යොහානි කියන නමින්. යොහානි තමයි මගේ brand name එක.

ඔබ වඩාත් කැමැති කවුරු ලෙස හඳුන්වනවාටද?

ගායන ශිල්පිනී, ගීත නිර්මාතෘ සහ රැප් ගායිකා ( singer,| song writer and wrapper ) ලෙස මාව හඳුන්වනවාට තමයි මම කැමැති.

 

ඔබේ පවුලේ විස්තර

මගේ තාත්තා විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වා. ඔහු මේ රටේ 30 වසරකට අධික කාලයක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමා කළ මානුෂීය මෙහෙයුමේ සුවිශේෂී කාරය භාරයක් ඉටුකළ රණවිරුවෙක්. අම්මා දිනිති ද සිල්වා. ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ගුවන් සේවිකාවක් ලෙස රැකියාව කළා. අපි පුංචි කාලේම ඇය රැකියාවෙන් ඉවත් වුණා. මගේ එකම නැගනිය ශවින්ද්‍රි ද සිල්වා මේ වනවිට වෛද්‍යවරියක් වීම සඳහා රුසියාවේ උසස් අධ්‍යාපනය ලබනවා.

 

පාසලේ ඔබ සංගීතය හැදෑරුවාද? අධ්‍යාපනයට අමතරව නිරතවූ වෙනත් බාහිර ක්‍රියාකාරකම් මොනවාද?

මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ.මම පුංචි කාලයේ ඉඳලම ටිකක් වෙනස් විදිහට හිතපු කෙනෙක්. ඒ නිසා මම පාසලේදී වූෂූ ක්‍රීඩාව හැදෑරුවා.

ඊට අමතරව වෝට පෝලෝ, කිමිදීම වැනි ක්‍රීඩා වල නිරත වුණා. සංගීතය පැත්තෙන් නම් පාසලේ ඉගෙන ගත්තේ නැහැ. ඒත් අම්මා මාව පියානෝ පංති වලට අරගෙන ගියා. ඉස්කෝලේ බ්‍රාස් බෑන්ඩ් එකේ හිටියා.

 

2012 වසරේ ඔබ උසස් පෙළ හදාරන්නේ එංගලන්තයේ.

තාත්තාට රැකියාව නිසා ලන්ඩන් වලට යන්න වීම නිසා අපිටත් එහි යන්න සිදුවුණා. ඒ අනුව තමයි මම ලන්ඩන් වල Hatch End High School එකෙන් උසස් පෙළ සමත්වීම දක්වා ඉගෙන ගත්තේ. ඉන් පස්සේ ආයෙත් ලංකාවට ඇවිත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා ලොජිස්ටක් ඇන්ඩ් සප්ලයි මැනේජ්මන්ට් උපාධිය ලබා ගත්තා.

ඉන්පසු ඔබ රැකියාවක නිරතවෙනවා.

උපාධිය සඳහා ඉන්ටර්න්ෂිප් එක කළේ CMS ETM කම්පනි එකේ. ඊට පස්සේ ඇක්වලේඩ් කියන කම්පනි එකේ සප්ලයි චේන් මැනේජර් විදිහට රැකියාවක් කළා අවුරුද්දක් විතර. ඒ අතරම ‘තීව්‍ර‘ කියන ටීම් එකේ ඡායාරූප ශිල්පිනියක් විදිහටත් වැඩ කළා. ඒක ඩිජිටල් මාකටින් සහ ෆෝටොග්‍රැෆි කරන කණ්ඩායමක්.

එයින් පසු ඔබ ඕස්ට්‍රේලියාවට යන්නේ masters degree එක සඳහා .

ඔව්. මම මාස්ටර්ස් එක කරන්නේ ඕස්ට්‍රේලියාවේ Central Queensland Univercity එකෙන්. එහිදී Master of proffesional Accounting පළමු පංතියේ සාමාර්ථයක් සහිතව සමත් වුණා.

ලබා ගත් උපාධිය පසෙක තබා ඔබ සංගීත කටයුතු වල යොමුවන්නට ලංකාවට එනවා.

ඔව්. ඒත් මම ඕස්ට්‍රේලියාවේ ඉන්න විටත් සංගීත කටයුතු වල නියැළුණා. කැම්පස් එකේ ඉවෙන්ට් වල කොන්සර්ට් වල සිං කළා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මියුසීෂියන්ස්ලා හම්බවෙලා ඒ අය ප්‍රොඩියුස් කරන දේවල් වලට සම්බන්ධ වුණා. ලංකාවෙන් ඒ රටට ආව ආටිස්ලාගේ කොන්සර්ට් වල සිං කරලා තියෙනවා.

නදීක ගුරුගේ සහ නදීක ජයවර්ධනගේ කොන්සර්ට් එකේත් සිං කළා.

ඊට අමතරව කවර්ස් කරලා එළියට දාන්න පටන් ගත්තෙත් ඔය කාලෙදි. දෙවියන්ගේ බාරේ ඒ දවස්වල දාපු එකක්.

 

ඔබේ U tube නාලිකාව ආරම්භ කරන්නේ 2016 දී .

2016 තමයි මගේ U tube නාලිකාව පටන් ගත්තේ. තීව්‍ර කණ්ඩායමත් එක්ක මුලින්ම නිර්මාණ කරලා එළියට දාන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම කරපු නිර්මාණය ඉංග්‍රීසි සිංදුවක්. Above and Beyond කියන බෑන්ඩ් එකේ ‘ Satalite' කියන සිංදුව තමයි කවර් එකක් විදිහට කළේ.

 

ඒ විදිහට ආරම්භ කරපු චැනලය පැමිණි ගමන් මගේ මේ වෙනකොට ඉන්න තැන ගැන කතා කළොත්

ලංකාවේ යූ ටියුබ් චැනල් වලින් දැන් ඉන්නේ තුන්වැනි ස්ථානයේ.

 

ඔබ ස්වතන්ත්‍ර නිර්මාණ කරන්නේ බොහොම අඩුවෙන්.

ඔව්. තවම මම මගේම ගීත කරලා තියෙන්නේ 6ක් වගේ පුංචි ප්‍රමාණයක්.

ඊට අමතරව තව දවස් තුනකින් (09 වැනිදා) අලුත්ම විඩියෝ එක එළිදක්වනවා. ඒ වගේම මගේ අලුත්ම ගීත 12ක් ඇතුළත් ඇල්බම් එක එළිදක්වන්න සියල්ල සූදානම් කරගෙන තියෙනවා. ඒක එළි දක්වන්න ඉන්නේ ලයිව් ෂෝ එකක් එක්ක. ඒත් දිනය තීරණය වෙන්නේ රටේ කෝවිඩ් තත්තවය අනුව තමයි.

මේ ඇල්බම් එකේ නම ‘කෙල්ල‘. ඒකේ මම කතා බහ කරන්නේ ලංකාවේ අපේ සමාජයේ කෙල්ල කියන ගැහැනු චරිතය අත්දකින දේවල් මගේ ඇහෙන් දකින විදිහ ගැනයි. මේ නිර්මාණ නෙගටිව් දේවල් නෙමෙයි. අඬා වැලපෙන දේවල් නෙමෙයි. කෙල්ලෙක්, ගැහැනියක් ආදරය අත් දකින විදිහ, යාළුවෙක් තව යාළුවෙකුගේ ආදරය දකින විදිහ, එතකොට සමලිංගික ජනතාව ගැන, විවාහ ජීවිතය ඇතුළේ ඇතිවන පොඩි පොඩි හැල හැප්පීම්, නැන්දම්මා ලේලිය එක්ක ඇතිවන සිදුවීම් මේ ආදී ගැහැනු චරිතයේ විවිධ භූමිකා මුහුණ දෙන විවිධ සිදුවීම් තමයි මේ ගීත වලින් කියැවෙන්නේ. එතකොට මේ ගීත වලට පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම්.

 

ඔබ හුරු බුහුටි කෙල්ලක් ලෙස කොහෙන්ද මේ සත්‍ය අත්දැකීම් ලබන්නේ.

මේ සත්‍ය අත්දැකීම් මම ලබපු ඒවා නෙමෙයි. විශේෂයෙන් මගේ යාළුවන්ට වෙච්ච දේවල්, සමාජයේ මම දන්නා කාන්තා චරිත මුහුණ දුන් විවිධ අත්දැකීම් මේ ගීත වලට

 

 

මම පාදක කරගත්තා.

 

මේ ගීත නිර්මාණ වලට දායකත්වය දෙන්නේ කවුරුද?

මේ ඇල්බම් එකේ ගීත සියල්ලම ලියලා තියෙන්නේ ආසිරි පෙරේරා සහ දිලන්ජන් සෙනෙවිරත්න. ගීත 12ම තනු නිර්මාණය කළේ මම.

ප්‍රොඩියුස් කරන්න කීප දෙනෙක්ම සම්බන්ධ වුණා.

 

මේ වනවිට ඔබ ලොව පුරා ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්ව ඔබට ගෙනාවේ මැණිකේ ගීතය. එ් කවර් සෝන් එක කරන්නේ කොහොමද?

ඇත්තටම මේ ගීතය නිර්මාණය වුණේ හරි අපූරු විදිහට. චමත් සංගීත් මාත් එක්ක හරිම හිතවත්. මගේ සිත දැවුණා ගීතයේ ඔරිජිනල් එක කළෙත් චමත්. මැණිකේ සින්දුව එළියට දාන්නත් කලින් චමත් මට මේ ගීතය පෙන්නුවා. අහපු දවසේ ඉඳන් මම මේ ගීතයට හරිම කැමැත්තෙන් හිටියේ. ඉතින් ලොක් ඩවුන් එක වෙලාවේ මම ටික් ටොක් එකක් කරලා මේක කොල්ලෙක් කියන සින්දුවක් කියලා වීඩියෝ එකක් දැම්මා.

 

චමත් මේක දැකලා කතා කරලා කිව්වා මේක මරු වැඩක්. ඔයා කියන විදිහ වෙනස්. අපි මේක ඔෆීෂියල් විදිහට කරමු කියලා.ඉතින් මම හා කියලා දවසක් චමත්ගේ ස්ටූඩියෝ එකට ගියා . සතීෂානුත් ඇවිත් හිටියා. අපි දෙන්නා ෆන් එකට වගේ ස්ටූඩියෝ එකේ ඒක රෙකෝඩ් කළා.

 

ඒ විදිහට තමයි ‘මැණිකේ මගේ හිතේ‘ කවර් සෝන් එක නිර්මාණය වුණේ.

 

මේ වනවිට මැණිකේ ගීතය ලෝකයේ ඉහළටම ඇවිත්.

ඔව්. මේ වනකොට ලෝකය පුරා මිලියන 125කට වඩා මැණිකේ ගීතය නරඹා තිබෙනවා. ඒ වගේම වර්ල්ඩ් මියුසික් ප්ලේ ලිස්ට් එකේ 5 වැනි ස්ථානයේ තමයි තිබෙන්නේ.

 

යොහානිගේ මේ ගමන් මඟට ශක්තියක් වුණු කලා කරුවන් ගැන සිහිපත් කළොත්.

ඇත්තටම මුලින්ම මතක් කරන්න ඕන රජීව් සෙබස්තියන්ව. ඔහු යොහානි කියන ගායිකාව මිනිස්සු අඳුන ගන්න කලින් ඔහුගේම වියදමින් ගීතයක් නිර්මාණය කරලා මට අතහිත දුන්නා. ඒ තමයි හාල් මැස්සා කියන ගීතය. ඒක බයිලා එකක්. ඒ ගීතයේ පද රචනය, තනුව සංගීත නිර්මාණය විතරක් නෙමෙයි එයාගේ බෑන්ඩ් එක ප්ලේ කරවලා රෙකෝඩින් එකත් කරලා දුන්නේ ඔහුයි. ඊට අමතරව භාතිය සන්තුෂ් නිතරම කතා කරලා අවවාද උපදෙස් දෙනවා.

 

ඔබේ මේ ගමන් මඟට යෝධ සවියක් වන්නේ අම්මා.

ඇත්තටම ඔව්. අම්මා නංගියි මමයි පුංචි කාලයේ එයාගේ රැකියාවෙන් ඉවත් වුණා. ඒ නිසා අපිට ඇගේ ආදරය, රැකවරණය මඟ පෙන්වීම උපරිමයෙන් ම ලැබුණා. විශේෂයෙන් ඇයට හොඳ ටේස්ට් එකක් තිබෙනවා. ඇය හරිම පිළිවෙළයි. අදටත් එයා ලස්සනට අඳිනවා. ඉතින් අම්මි තුළ තිබෙන මේ ටේස්ට් එක තමයි මටත් පොඩි කාලෙ ඉඳලා එන්නේ. විලාසිතා කියන දේ මගේ ඔළුවට එන්නෙත් අම්මා නිසා. ඉතින් පුංචි කාලේ ඉඳලම අම්මා අපිට කැමැති දේ කරන්න ඉඩ දුන්නා. මම මියුසික් වලට ආසා නිසා පියානෝ ක්ලාස් එකකට දාලා මාව එක්කන් ගියෙත් අම්මා. අදටත් මේවා කරන්න එපා අරව කරන්න එපා කියලා මට තහංචි දාන්නේ නැහැ. අම්මා විතරක් නෙමෙයි තාත්තා පවා මගේ නිර්මාණ ගමනට ආශීර්වාදයක්.

 

වැඩිදුර අධ්‍යාපනය ලබලා විදෙස් රටක රැකියාවක් කරන්න තිබුණු අවස්ථාව අත හැරලා ලංකාවට පැමිණ සංගීත ක්ෂේත්‍රයට යොමු වන ඒ අභියෝගාත්මක තීරණය ගන්න බය හිතුණේ නැති ද?

මම පෙටා එෆෙක්ට් ලේබල් එකට ලංකාවට එන්න තීරණය කරන කොට මම එක දෙයක් දැනගෙන හිටියා. ඒ නිර්මාණයක් කරපු ගමන් මගේ ජීවිතය ගොඩ යන්නේ නැහැ කියන එක. එක පාරම මේවා හරියන්නෙ නැහැ. ඒක අනිවාර්යයෙන් ගොඩ එන්න නම් කට්ටක් කන්නම වෙනවා. ඒත් මගේ හිත තිබුණේ මියුසික් වල. ඉතින් මට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගන්න පුළුවන්කම තියෙද්දි මම එහෙ අතහැරලා මව්බිමට එනවා. ඒ කට්ට කන්න සූදානම් වෙලා. ඒ වගේම උපරිම කට්ටක් කෑවා. හැම සතියේම බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හිල්ටන් එකේ පැය හතරක් සින්දු කිව්වා. අද මම ඒවායේ ප්‍රතිපල භුක්ති විඳිනවා.

 

තාරුණ්‍යෙය් නිර්මාණ ශිල්පීන්ට, ශිල්පිනියන්ට දෙන උපදෙස මොකක් ද?

අනිත් මිනිස්සු කියන ඔපීනියන් අනුව වැඩ කරන්න යන්න එපා. නවක නිර්මාණ ශිල්පියෙක්, ශිල්පිනියක් විදිහට කෙනෙක් ආවම හිතනවානේ එකපාරටම දෙයක් කරන්න. මෙයා වගේ වෙන්න ඕන අරයා වගේ වෙන්න ඕන කියලා හිතනවනෙ. ඒත් එහෙම වෙන්න එපා. තමන් තමන්ගේ දෙයක් තමයි කරන්න ඕන. හැබැයි ඒක එක දිගටම කරගෙන යන්න ඕන. වැටෙන්න පුළුවන්. වැරැදෙන්න පුළුවන්. ඒත් කවදා හරි එක තැනකදී ඒක හරියනවා.

 

ඔබටම අනන්‍ය වූ මේ කටහඬ ගැන ඔබ මොකද කියන්නේ.

ඇත්තටම මට තියෙන්නේ වෙනස්ම රේන්ජ් එකක හඬක්. ඒ නිසා මම පුංචි කාලයේ ගායිකාවක් වෙන්න හිතකවත් තිබුනේ නැති කෙනෙක්. ඒත් සින්දු කියන්න ගත්තට පස්සේ මම කටහඬ ගැන ගොඩක් හිතුවා. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා වොයිස් ට්‍රේනින් කළා. උදේ නමයට විතර නැගිටලා පැය දෙකක් විතර වොයිස් ට්‍රේනින් කරනවා. මෑතක් වෙනකම් උමාරා ගෙන් තමයි උපදෙස් ගත්තේ. දැන් මම විදේශීය කෙනකුගෙන් උපදෙස් ගන්නවා.

 

ඔබ ආදරය ගැන දරන්නේ මොන වගේ අදහසක් ද?

හැමෝටම ආදරය කරන කෙනා පෙම්වතියක් නම් මම පෙම්වතියක්. හැම දේටම ආදරය අවශ්‍යයයි. මගේ මව්පියන්ට, නංගිට, යාළුවන්ට,මගේ ටීම් එකට, බෑන්ඩ් එකට, මගේ රසික රසිකාවියන්ට මේ හැම දෙනාටම මම ආදරෙයි. මේ හැම තැනදිම රස තියෙන්නේ ආදරය පදනම් කරගෙන. මම ගීතයක් ලිව්වත් , ගායනා කළත් එතැන තියෙන්නේ ආදරය.

 

‘ආයේ කවදාහෝ‘ ගීතය කරන්නේ ඔබට එල්ලවූ මඩ ප්‍රචාර නිසාද?

මඩ වලටම නෙමෙයි. මුලින්ම මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය සමහර තැන් වලදී මට නොයෙකුත් චෝදනා එල්ල කළා, සමාජ මාධ්‍ය වලත් මඩ ගැහුවා. මේ ගමනේදී ගොඩක් කතන්දර කිව්වා.

නමුත් අද වෙනතුරු මම ඒවාට උත්තර දෙන්න යන්නෙ නැහැ. මට ඒවාට උත්තර දිදී ඉන්න ඕන නැහැ. මට මගේ ගමනක් තිබෙනවා. ඉතින් මම ඒ ගමන යනවා.

‘ආයේ‘ සින්දුව ලියැවෙන්නේ ඒ වගේ එක තැනකදි ඇතිවුණු සිදුවීමක් නිසා. එක තැනකදී සෑහෙන්න වියදම් මම එළියට දාන්න හදපු සින්දුවකට අවස්ථාව දුන්නේ නැහැ. ඒ වෙලාවේ මම තනුවක් නිර්මාණය කරලා දිලන්ජන්ට කිව්වා අපි මේ සින්දුව කරන්න ඕන කියලා. එදා රෑ එළිවෙද්දී දිලන්ජන් මේ සින්දුව ලිව්වා. එතැනදී මම ඒක කිව්වේ අපි මේකෙන් කියමු අපිට මේ සින්දුව දාන්න දුන්නේ නැතුව අපේ කකුලෙන් ඇද්දට ආයේ කවදා හරි දවසක මේ පාරෙ හම්බවෙනවා. සිංදුව දාන්න නොදුන්නට අපි තව සිංදුවක් දානවා. ඒ වුණාට අපි කවදා හරි හම්බවෙනකොට අපේ හිතේ කහටක් නැහැ. හිනාවෙලා යන්නම් කියලා. අද ඒක තමයි වෙලා තියෙන්නේ. මගේ හිතේ ඒ අය ගැන කහටක් නැහැ.

 

රැව්වත් දෑසින් ගීතය කියන්නේ පියා වෙනුවෙන්.

මගේ පියා යුද බිමට ගිය එඩිතර රණවිරුවෙක්. අපේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් බේරාගන්නට කළ මානුෂීය මෙහෙයුමේ සුවිශේෂී කාර්ය භාරයක් කළ කෙනෙක්. ඉතින් තාත්තා පිළිබඳව මගේ හිතේ තියෙන ආදරය ගැන තමයි මේ ගීතයෙන් මට කියන්න ඕන වුණේ.

 

ඔබේ ගමනේ සාර්ථකත්වයට ඔබ සමඟ සිටින පිරිස ගැන සඳහන් කළොත්.

මුලින්ම තීව්‍ර කණ්ඩායම තමයි මාත් එක්ක මේ නිර්මාණ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ Pettah effect කණ්ඩායම. මේ කණ්ඩායම් දෙක තමයි අදටත් මාත් එක්ක නිර්මාණ කරණයේ ඉන්නේ. ඊ ළඟට අම්මයි, තාත්තයි, නංගියි මගේ මේ ගමනේ මගේ ශක්තිය. රජීව් සෙබස්තියන් කියන ප්‍රවීණයාට අදටත් දෙයක් දැනගන්න මම කතා කරනවා. භාතිය සංතුෂ් දෙන්නා. දිලන්ජන් සෙනෙවිරත්න, භානුර සූරියප්පෙරුම, ෂෙනෙලි වයිට්, ෂෙරාන් ඩිලන්ත ඇතුළු ලුණු කණ්ඩායම, චමත් සංගීත්, චමිත කුරේ , පසන් ලියනගේ මේ අය තමයි මගේ මේ සාර්ථකත්වය පිටුපස ඉන්නේ. ඒ හැම කෙනාටම ස්තූතියි.