විදුලි බිල හිතට බරක් ද?

එහෙනම් විදුලිය පිරිමසන ක්‍රමවලට යන්න ම වේවි
අගෝස්තු 18, 2021

 

විදුලි උපකරණ භාවිත කිරීමේ දී සැලකිලිමත් වෙන්න

 

දැන් මාස ගාණක ඉඳන් හැමෝම ඉන්නෙ නිවෙස්වලට වෙලා. පාසල් ගිය දරුවෝ, කාර්යාලයට ගිය මව, පියා ඇතුළු මේ හැමෝම නිවෙස්වලට වෙලා ඉඳිද්දී විදුලි බිලට සෘජු බලපෑමක් එල්ල වී ඇති බව නම් නොකියාම බැහැ. සාමාන්‍ය ආර්ථික මට්ටමක් ඇතිව දිවි ගෙවන පවුල්වල අයට විදුලි බිල වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්නට සිදු වීම දරා ගත හැකි ද?

සාමාන්‍යයෙන් ඒකක 90,120 ඉක්මවූ විට රුපියල් දෙදහස ඉක්මවූ විදුලි බිලක් ඒම නම් වළක්වා ගත නොහැකි වේවී.

ඔබ නිවෙසේ විදුලිය පරිභෝජනය කරන අන්දම කියාපාන්නේ ඔබේ විදුලි බිල.

කාර්යබහුලව ගෙවන මේ ජීවිතේ විද්‍යුත් උපකරණ අපට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා. එදිනෙදා ගෙදර දොරේ කටයුතුවලදී විද්‍යුත් උපකරණ භාවිතයට හුරුව සිටින නිසා දැන් ඒවායෙන් මිදෙන්නත් බැහැ. ඔබේ නිවෙසත් නවීන පන්නයේ විදුලි උපකරණවලින් පිරි එකක් වෙන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් රත් වීමකින් යුතුව අදාළ කර්තව්‍ය කරදෙන විදුලි උපකරණයක් සඳහා වැඩි විදුලි ප්‍රමාණයක් වැයවේවි.

දැන් දැන් බොහෝ නිවෙස්වල වායූ සමීකරණ යන්ත්‍ර සවි කොට තිබෙනවා. මේ සඳහා වැයවන විදුලි ඒකක ප්‍රමාණය ඉහළයි. වැඩි මුදලක් වැය කොට හෝ සූර්ය බලයෙන් ක්‍රියාත්මකවන වායූසමීකරණ යන්ත්‍රයක් සවි කරන්නේ නම් එය විදුලි බිලට බලපෑමක් නොකරාවී. සාමාන්‍ය මුදලකට ලබා ගන්නා වායුසමීකරණ යන්ත්‍රයක් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් දවාවී.

 

විදුලි බල්බ

 

විදුලිය ඇති නිවෙසක් නම් නිසැකවම එහි විදුලි බල්බ තිබේවී. මුලින් ම නිවෙස්වල තිබුණේ සූත්‍රිකා බල්බ. අධික විදුලියක් වැයවන මේ බල්බ වෙනුවට ඉන්පසු පැමිණියේ CFL බල්බ. ඉන්පසු කරලියට ආයේ LED බල්බ.

මෙය විදුලි බිලට සෑහෙන සහනයක් ගෙන දෙයි. හැබැයි හොඳින් මතක තබා ගන්න. ඔබ පදික වේදිකාවෙන් හෝ එවැනි වෙන යම් තැනකින් අඩු මිලට ගන්නා බාල වර්ගයේ LED බල්බවලින් නම් ඔබ සිතන පරිදි විදුලිබලය පිරිමැසීමක් (Energy Serving), වැඩි ආලෝකයක් නො ලැබේවි.

නිවෙසේ සෑම තැනට ම එකම වෝල්ටීයතාවකින් යුතු විදුලි බල්බ දැමීමට අවශ්‍ය වන්නේ නැහැ.

පොත් කියවන, දරුවන් අධ්‍යාපනික කටයුතුවල යෙදෙන තැන්වලට, ආහාර පිසින තැන්වලටවැඩි ආලෝකයක් අවශ්‍ය වේවි. මේ තැන්වලට ඉලක්කගත ආලෝකකරණ (Task Lighting) හෝ දීප්තිමත් බවින් වැඩි විදුලි බුබුළු යොදා අනෙකුත් තැන්වලට සාමාන්‍ය වෝල්ටීයතාවකින් යුතු විදුලි බල්බ එකතු කරන්න පුළුවන්.

 

ස්වාභාවික ආලෝකයෙන් ප්‍රයෝජන ගැනීම

 

දහවල් කාලයේ ලැබෙන ස්වාභාවික ආලෝකය ඔබට නොමිලයේ ම ලැබෙන්නක්. එයින් උපරිම ප්‍රයෝජන ලබන්න. අධ්‍යාපනික කටයුතුවල යෙදෙන දරුවන් ඇතුළු අනෙකුත් අයගේ මේස, පුටු ස්වාභාවික ආලෝකය ලැබෙන තැනක තබන්න. එවිට දහවල් කාලයේ විදුලි බුබුළු භාවිතයක් අවශ්‍ය නොවේවි. බිත්ති, සිවිලිම, බිම යනාදියට සුදු හෝ ළා පැහැති වර්ණයන් එකතු කරන්න. මෙමඟින් ආලෝකය වඩවඩාත් පරාවර්තනය වීමෙන් ස්වාභාවික ආලෝකයෙන් උපරිම ඵල ලබන්නට හැකි වේවි.

 

විදුලි පංකා භාවිතය

 

වායුසමීකරණ යන්ත්‍රවලට වඩා අඩු විදුලිය පිරිවැයක් විදුලිපංකා භාවිතයෙන් ලබන්නට පුළුවන්.

විදුලිපංකා භාවිතයේ දී ත් සිවිලිම මත සවි කරන සිවිලිං විදුලිපංකා සඳහා අනෙකුත් විදුලිපංකාවලට වඩා වැඩි විදුලියක් වැයවේ. ඒ අතරිනුත් පරණ තාලයේ සිවිලිං ෆෑන් සඳහා වැඩි ම විදුලියක් වැයවේ. මේ අනුව පෙඩෙස්ටල් ෆෑන්, ටේබල් ෆෑන්, සිවිලිං ෆෑන්වලට වඩා විදුලිබලය ඉතිරි කරයි.

 

රෙදි සෝදන යන්ත්‍ර

 

අනිවාර්යයෙන් ම ඔබ මිලදී ගත යුතු වන්නේ ඔබේ පවුලේ සාමාජිකයන් ගණනට සෑහෙන අන්දමේ පරිභෝජනය සඳහා සුදුසු විද්‍යුත් උපකරණ යි. එසේ නොමැති වූ විට නිරපරාදේ විදුලිය අපතේ යෑමක් සිදු වේවි.

කිලෝ ගණනින් ඇති රෙදි සෝදන යන්ත්‍රවලින් ඔබේ පවුලේ අවශ්‍යතාවට සරිලන පරිදි රෙදි සෝදන යන්ත්‍රයට දැමිය යුතුවන්නේ එහි ධාරිතාවට සරිලන රෙදි ප්‍රමාණයයි. ධාරිතාව ඉක්මවා බරින් යුතු රෙදි දැමීමෙන් වන්නේ එහි කාර්යක්ෂමතාව අඩු වීමයි. ජල මට්ටම ද නිසි පරිදි පාලනය කරන්න. සේදුම්කාරක භාවිතයේදීත් නියමිත උපදෙස් පිළිපදින්න. ප්‍රමාණය ඉක්මවා යන පරිදි වැඩි සේදුම්කාරක යෙදීමෙන් මෝටරය ආයාසයෙන් ධාවනය කිරීමට සිදුවේවි. රෙදි වියළනය අවශ්‍ය නම් පමණක් භාවිතයට ගන්න. අව්වේ වියළා ගැනීමට අවස්ථාව තිබේ නම් එවැනි විකල්ප කරා යන්නට දෙසැරයක් හිතන්න එපා.

නවීන පන්නයේ සහ ඉදිරිපසින් දොර විවෘත කිරීමට ඇති රෙදිසෝදන යන්ත්‍ර රෙදි සම්පූර්ණයෙන්ම වියළා දෙයි. මෙවැනි රෙදි සෝදන යන්ත්‍රවලට අධිකව විදුලිය වැයවේවි. උණු වතුරින් රෙදි සේදෙන යන්ත්‍රවලට ඊටත් වඩා විදුලිය වැයවේවී.

 

 

මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ

 

උපදෙස්: විදුලි අධිකාරි

සුරංග සිල්වා මහතා ගෙනි