උණ බටයෙන් අලංකාර සැකසුම්

මැයි 20, 2020

සොබාදහමේ විස්මිත නිර්මාණ අපේ නෙතු අබියස දිග හරින්නේ සොඳුරු ලොවකි. නමුදු අපේම නොපහන්කම් හමුවේ මේ සොබාදහම් මාතාව දිනෙන් දින වියැකී යයි.

ඒ නිසා ඔබ කළයුතුම දේ මේ මිහිමවට කෘතගුණ දක්වන්නට ගසක් සිටුවීමයි. එය ඔබ අද දවසේ දී කළ යුතුම දෙයකි. උණ ගස් වේගයෙන් වැඩෙන පරිසරය සිසිලසින් නහවන ශාක විශේෂයකි. පැළ කිරීම ද අපහසු නොවේ. තරමක ඉඩකඩ සහිත ගෙවත්තකට උණ ගසක් සිටුවා ගැනීමෙන් අමිල මෙහෙයක් ලබාගත හැකියි.

බලන්න, මේ තියෙන්නෙ උණ බම්බුවෙන් කළ සරල එහෙත් සොඳුරු නිර්මාණ කිහිපයකි. මල් ගසක් සිටුවන්නට බඳුන් සොයන ඔබට උණ ගස එහි අඩුව සපුරා ඇත්තේ අලංකාරයක් ද සමඟිනි. උණ ගස් කාලයෙන් කාලයට කපා ඉවත් කළ යුතුයි. මෙලෙස කපා ඉවත් කරන කාලයට හෝ ඔබේ උණ පඳුරේ වැඩියෙන් ඇති ගසක් කපා ඔබටත් විවිධ හැඩයෙන් යුත් අලංකාර මල් බඳුන් සකසාගත හැකියි. මල් බඳුන් පමණක් නොව නිවෙස සරසන විවිධ ආයිත්තම් උණ ගසෙන් සකසාගන්න පුළුවන්. ඈඳන් , පුටු, මේස, ලාම්පු ආවරණ, බිත්ති සැරසිලි, වට්ටි, පෙට්ටි ආදී බොහෝ දේ ඒ අතර වේ. මේ සඳහා නිර්මාණශීලී සිතක් වගේම නිර්මාණශීලී අදහස් ඔබ සතුව තිබිය යුතුයි. ඔබේ ඒ නිර්මාණශීලීබව අවදි කරන්නටයි අප මෙවැනි නිර්මාණ තිළිණ කරන්නේ.

මෙහි දැක්වෙන්නේ නිවෙස ඇතුළත සරසන්න කළ මල් සැකසුම් කිහිපයකි. එහිදී උණ බම්බු කොටස් විවිධ හැඩතලවලට කපා ප්‍රයෝජනයට ගෙන ඇත. ඒවා රැඳවීමට ඔබට කොහු ලණු භාවිතයට ගන්න පුළුවන්. මේ දිනවල බොහෝ දෙනා කරන්නට දෙයක් නැතුව නිකම්ම නිවෙසට වෙලා ඉන්නවා. ඒත් ඔබටත් උණ ගසක් හොයාගන්න පුළුවන් නම් මේ වගේ ලස්සන බඳුන් සකසා ඔබේ නිවහනත් සුර විමනක් කරගන්නට හැකියි. ඒ වගේම ඔබ බොහෝ නිර්මාණශීලී නම් මේ උණ බම්බු විවිධ රටාවන්ට කැටයම් කරගන්නටත් පුළුවන්. ඒ වගේම උණ බම්බු වියළා නිර්මාණ සැකසූ විට ඒවා වාර්නිෂ් යොදා අලංකාර ලෙස වර්ණ ගන්වා ගන්නටත් හැකියි. මෙම නව නිර්මාණ අලෙවි කරන්නටත් ඔබට අවස්ථාව සොයාගන්න පුළුවන්. එසේ නම් ඔබත් මේ අනගි නිර්මාණයක් දෙකක් සකසා ඔබේ නිවෙසත් හැඩකරගන්න. නැත්නම් නිර්මාණශීලී වෙළෙඳපොළක් සකසා ගන්න.