ඉහළ මිලකට අලෙවිවන ඕකිඩ්

මාර්තු 17, 2021

හැඩකාර, දඟකාර සොඳුරු මල් කුමරිය ඈ ඕකිඩ් නම් වන්නීය. තවත් කෙනකු ඇය හඳුන්වන්නේ උඩවැඩියා නමිනි. දහසක් මල් අතර කැපී පෙනෙන සුන්දරත්වයක් හිමිවූ නිසාමදෝ ඕ මල් ලොව අග රැජිනියයි.

 

සොඳුරු මලින් ගෙමිදුල සරසන්නට සේම අමතර ආදායමක් උපයාගන්නට ද ඕකිඩ් වගාව හරි අපූරුයි. මන්ද ඕකිඩ් යනු මල් අතර තරමක් මිලාධික මලකි. එමෙන්ම බොහෝවිට ඕකිඩ් මල් කපන්නේ සහ අලෙවි කරන්නේ කිනිති වශයෙනි. එබැවින් මල් හතරක්, පහක් සහිත කිනිත්තක් රුපියල් දහසක් වැනි මිලකට අලෙවි කළ හැකියි. මෙහිදී මල්වලට අමතරව පිපීගෙන එන මල් කැකුළු ද කිනිත්තට අයිතිවන බැවින් මිල නියම වන්නේ සම්පූර්ණ ඕකිඩ් කිනිත්ත සඳහාය. එමෙන්ම වැන්ඩා, ඩෙන්ඩ්‍රෝබියන්, පැලනොප්සිස් ආදී වශයෙන් ඕකිඩ්වල ප්‍රභේද බොහොමයක් දැකිය හැකි අතර මේවායේ මිල ද එකිනෙකට වෙනස් වේ. උදාහරණයක් ලෙස කිනිත්තක මල් වැඩි ප්‍රමාණයක් හටගන්නා ඩෙන්ඩ්‍රෝබියන් මලක් රුපියල් 10 ත් 12 ත් අතර මිලකට අලෙවි වුවද සුදු පැහැති පැලනොප්සිස් මලක් රුපියල් 450 - 500 ත් අතර වේ.

ඉතින් අපි අද සිට මේ සොඳුරු මල් සහ ශාකය හොඳින් හඳුනා ගනිමු. අනතුරුව එය වගාකරන ආකාරය, නඩත්තුව, රෝග සහ පලිබෝධ හානි ආදිය පමණක් නොව අනතුරුව එය වෙළෙඳපොළට යොමු කරනා ආකාරය ද ක්‍රමානුකුලව ඉගෙන ගනිමු.

ඔබ මේ වනවිට ගෙමිදුල සරසන්නට ඕකිඩ් එහෙමත් නැතිනම් උඩවැඩියා වවන්නේ නම් එය අපූරු ස්වයං රැකියාවකට හරවාගන්නට මේ ලිපිපෙළ මහඟු අත්වැලක් සපයාවි.

උඩවැඩියා එහෙමත් නැතිනම් ඕකිඩ් අයත් වන්නේ විශාලම පුෂ්ප හටගන්නා ශාක වර්ග දෙකෙන් එකකටය. දැනට ලෝකයේ උඩවැඩියා ගණ (Genera) 880 ක් පමණ සොයාගෙන ඇති අතර ඒ තුළ උඩවැඩියා විශේෂ (Species) 22000 ක් පමණ අඩංගුය.

උඩවැඩියා ශාකයේ් වයස ගණනය කිරීමේ දී එය වර්ෂ මිලියන 100කටත් වඩා පැරැණි යැයි කියැවේ. එනම් දැනට වසර මිලියන 15 ත් 20 ත් අතර කාලයකට පෙර ජීවත් වූ මී මැසි පාෂාණවල තිබී උඩවැඩියා පරාග (poilens) හමුවී ඇත. ඒ අනුව ඩයිනොසෝරයන්ගේ කාලයේ සිටම උඩවැඩියා ශාකය ලොව තිබූ බව සැලකේ.

ලොව ධ්‍රැව ආසන්න රටවල් සහ කාන්තාර ප්‍රදේශ හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල මේ ඕකිඩ් ප්‍රභේද දැකිය හැකියි. මෙලෙස ලෝකය පුරාම පැතිර ඇති ඕකිඩ් හී විශාල වෙනස්කම් පවතින අතර ඒවා වැවී ඇති පරිසරය සහ දේශගුණය අනුව මේ වෙනස්කම් රඳා පවතිනු ඇත.

ඉතින් අපි ඉදිරියේදී මේ වෙනස්කම් සහිත ඕකිඩ් වර්ග හඳුනා ගනිමු.

 

 

උපදෙස් - සුමුදු ඕකිඩ්ස් හි ජයන්තිමාලා එදිරිසිංහ