පරණ ගේ වෙනස් කරනවා ද?

නොවැම්බර් 26, 2018

කාලයේ තාලයට ගැළපෙන පරිදි තමා පදිංචිව සිටින නිවෙසට යම් යම් වෙනස්කම් කිරීම අද කාලයේ වැඩියෙන් දක්නට ඇති දෙයක්.

අලුතෙන් ගෙයක් හදනවා හා සමානව හෝ ඇතැම් විට ඊටත් වැඩියෙන් අවධානය යොමු කළ යුතු අවස්ථාවක් මේක. ඇයි මා එහෙම කිව්වේ? අපි මෙය සංසන්දනාත්මකව විග්‍රහ කර බලමු.

අලුත් ගෙයක් හදන විට ඒ සඳහා ඇති බිමේ ඉඩ පරාසයන් ඔබට මැනවින් පේනවා. ලණු ගැසීමේ සිට ඉදිරි සියලුම ඉදිකිරීම් කටයුතු මනාව කරගෙන යාමට මෙය මහත් රුකුලක්. කළු ගල් අත්තිවාරම, කොන්ක්‍රීට් පාදම් (ඕචඵඥ), බිත්ති, වහල ආදිය ඒ ඒ අවස්ථාවේ දී සම්පුර්ණ නිවෙසටම බලපාන ආකාරයෙන් සිදු වෙන නිසා ඒකාකාරීව සවිශක්තිමත් වීම සිදුවෙන දෙයක්. නිවෙසට අවශ්‍ය සේවා පහසුකම්, ඒ කියන්නේ විදුලිය හා ජලය ලබා ගැනීමේ දී ඒ ඒ ස්ථානවලට අවශ්‍ය විදුලි බුබුළු, පේනු ආදියත්, ජල නල මාර්ගයන්, අප ජලය හා වැසිකිලි නල මාර්ග ආදිය මනා පිළිවෙළක් ඇතිව සිදු කළ හැකි අවස්ථාවක්. කෙටියෙන්ම කියනවා නම් නිවෙස ඉදිකිරීමේ දී කළ යුතු එක් එක් කාර්යයන්වලට තවත් දෙයක් නිසා සිදුවෙන බාධාවීම් අඩු කර ගත හැකි අවස්ථාවක් තමයි නව ඉදිකිරීමක් කියන්නේ. සමස්ත නිවෙසම නියමිත කාලයක් තුළ දී එක් පද්ධතියක් බවට පත් වීම වඩාත් වැදගත් කාරණයක්.

නමුත් ඔබ සිතූ පරිදි පැරැණි නිවෙස වෙනස් කිරීමට වාස්තු විද්‍යාව අතින් හෝ තාක්ෂණය අතින් කිසිදු බාධාවක් නැහැ. පදිංචි නිවෙසක් වෙනස් කිරීමේ දී පහත සඳහන් දේවල් ඔබ හොඳින්ම අවබෝධ කරගත යුතුයි.

සමහර අය තනි තට්ටුවේ නිවෙසේ වහලය ඉවත් කර තට්ටු දෙකකට සාදන්න උත්සාහ කරනවා. වහලය ඉවත් කළා කියන්නේ නිවෙසේ තියෙන වටිනාකම සැහෙන දුරකට අඩු වෙන දෙයක්. සියලුම විදුලි තත් ඇදීම් (එඪපඪදඨ) නැවත සිදුකළ යුතුයි. අලුත් ස්ලැබ් එක සඳහා අවශ්‍ය කණු නිවෙසට පිටින් හා ඇතුළතින් ගත යුතුයි. එහෙම නැත්නම් කණු එන තැන්වල දී බිත්ති කපා ඒවා පිළියෙල කරගත යුතුයි. මෙහිදී කළු ගල් අත්තිවාරමත් කඩන්න ඕනෙ. බේස් කනු හා බීම්, බිත්තිවලට පිටතින් දැම්මේ දී යම් අවලස්සන බවක් නිවෙසට ඇති විය හැකියි. නිවෙස ටයිල් කර ඇත්නම් ඒවාත් බේස් වළේ ප්‍රමාණයටම කැපිය යුතුයි. එම හිස් තැන් නැවත ටයිල් කිරීමේදී නිවෙසට අල්ලා තිබු වර්ගයෙන් තෝරා ගැනීමත් දුෂ්කර විය හැකියි. පැවති නිවෙස වෙනස් කළ පසුව, එම වෙනස්කම් කිරීමේ දී සිදුවෙන බාහිර අවලස්සන සම්පුර්ණයෙන්ම නො පෙනෙන්නට කරනවා නම් එය තරමක් මුදල් වැයවෙන දෙයක්. පවතින බිත්ති බේරමින්, ඉතා සංයමයෙන්, සීරුවෙන් ඉදිකිරීම් කටයුතු කිරීමේ දී ගත වෙන කාලයත් සාපේක්ෂව වැඩියි. ඒ කියන්නේ ශ්‍රමය වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන්නට සිදුවෙන එක. සමස්ත වියදම අතින් අලුතෙන් ගෙයක් සැදීමත්, තියෙන ගෙයක් කඩා වෙනස් කර කලින් කී අලුත් නිවෙසේ පෙනුම ලබා ගැනීමත් අතර තියෙන්නේ විශාල වෙනසක්.

මේ නිසා නිවෙසක් වෙනස් කිරීමට කලින් වියදම් ගැන මනා අවබෝධයක් ලබා ගන්න. විශේෂ හේතුවක් නැතිනම් තියෙන ගෙයක් කඩා බිඳ වෙනස් කරනවාට වඩා අලුතෙන් ගෙයක් සෑදීම සමහර විට ලාභයක් හා මුදල් ඉතුරුවක් වන දෙයක්

මේ ලිපියට පාදක වුණේ එක වාස්තු පරික්ෂාවකට ගිය නිවෙසක්. ඔවුනට අවශ්‍ය වී තිබුණේ තනි තට්ටුවේ නිවෙසම විශාල කර නවීන පෙනුමක් ලබා දෙන්න. නිවාස සැලසුම් අවස්ථාවේ දී හෝ ඉදිකිරීම් අවස්ථාවේ දී නිවැරැදි උපදෙස් ලැබී තිබුනෙණ් නැහැ. නිවෙසේ බිත්ති පිපිරී තිබූ ස්ථානවලට ඊට පිළියමක් යැයි සිතා කොන්ක්‍රීට් කණු යොදා තිබුණා. එකක් දෙකක් නෙවෙයි කණු දොළහක්. කරුණු විමසූ විට කීවේ එසේ උපදෙස් ලැබුණු බවයි. ඒ වහලේ බර දරන්නලු.

පැරණි ගෙදරට අලුත් අත්තිවාරම් කොටස් දමා තිබුනේ සොහොන් රාමු සෑදෙන්නට. මේවා කොහොමත් සුදුසු නැහැ. වැඩ පටන් අරගෙන ටික දිනකින් නිවෙසේ ඉදිකිරීම් වැඩ නැවතී, රැකියාවත් අහිමි වී, ඉතාම අසරණ තත්ත්වයකට පත් වී තිබුණා. නිවෙසේ වාස්තු දෝෂයන් මෙයට බොහෝ දුරට හේතුවක්. ලක්ෂ 8 ක් පමණ මේ ටිකට වියදම් ගිහින්. නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැති මෙවැනි දේ නැතිකර ගන්නම ඕනේ.

 

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය

ගයාන් එරමුදුගොඩ

Web :www.vastuhomebuilders.com
Email :[email protected].