අර්ධ නාගරික ප්‍රදේශයකට ගැළපෙන තනි මහලේ සොඳුරු නිවහනක්

දෙසැම්බර් 12, 2018

නිවාස සැලසුම් පිළිබඳ අපගේ පාඨක උනන්දුව හරිම ඉහළය. ඒ නිසාම ඔවුනගෙන් විවිධ ප්‍රතිචාර හිමි වෙයි. ඇතැම් පාඨකයන්ගේ ඉල්ලීම වන්නේ ඉතාම කුඩා ඉඩමකට තනි මහලේ නිවාස සැලසුමක් ඉදිරිපත්කරන ලෙසයි.

මෙවැනි කුඩා ඉඩමක සෑම අංගයක්ම ඇතුළත්ව නිවෙසක් තැනීම සඳහා සැලසුමක් තිබිය යුතුමය. එසේ නොමැතිව ඔබේ සිතැඟි පරිදි මේ කටයුත්ත ඉතා සරල කටයුත්තක් ලෙස සලකා ආරම්භ කළහොත් අවසානයේ ගැටලු රැසකට මුහුණදීමට සිදුවෙයි.

මෙවැනි කුඩා ඉඩමක නිවෙසක් තැනීමේදී ඔබගේ අවධානය යොමු කළයුතු කරුණු කිහිපයකි. ඔබට කාමර කොපමණ අවශ්‍යද? එම කාමර ස්ථානගත කළ යුත්තේ කොයි ආකාරයට ද යන්න ඔබ ගෘහ නිර්මාණ ශිල්පියා සමඟ සාකච්ඡා කළ යුතු වෙයි.

මෙම සැලසුම නිර්මාණය වන්නේ පර්චස් 8 ක ඉඩමක ය. එහි ඉදිරිය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණ වී ඇත්තේ රථ ගාලක් හා දිගු වැරැන්ඩාවකිනි. කොනක කාර්යාල කාමරයකි. මෙහි මැද සීමාවේ විවෘත අවකාශයක් ද වෙයි. එම විවෘත අවකාශය කුඩා ලොබියකට විවෘත වෙයි. එම ලොබියත් සාලයත් එකම සීමාවක් තුළ දකිනට ලැබේ.

මෙහි ප්‍රධාන නිදන කාමරය තරමක් විශාලය. එම කාමරයට අමතරව තවත් කාමර දෙකකි. එම කාමර දෙක අතර සීමාවේ පැන්ට්‍රියක් දක්නට ලැබේ. මෙම නිවෙසේ පිටුපස සීමාව තරමක් වෙනස් සැලසුමකි. එහි කුඩා wash room  එකක් දකිනට ඇත. තවද වෙනමම සකස් කළ මුළුතැන්ගෙයකි. එම මුළුතන්ගෙය අසල පොදු අවකාශයක් ලෙස සකස් කළ කාමරයකි. ඔබට අවශ්‍ය නම් මෙය ගබඩා කාමරය හෝ දර ආදිය ගබඩා කළ හැකි අයුරින් මෙය සාදා තිබේ.

2018/12/12 තරුණි පුවත්පත බලන්න