හිතුමතේ නිවෙසක් වෙනස් කිරීම සුදුසු ද?

දෙසැම්බර් 19, 2018

කෙනකුට තමාගේම කියා නිවෙසක හිමිකාරීත්වය ලැබෙන්නේ පෙර පිනකට ය. අඩුපාඩු සහිත නිවෙසක් සම්පුර්ණ කර ගැනීමට උදවු කිරීම, ඉඩමක් පරිත්‍යාග කිරීම, නැති බැරි පවුලකට නිවෙසක් සාදා දීම, ශ්‍රමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් කිරීම හෝ ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීම යනු හිසට සෙවණක් ලැබෙන උතුම් පින්කම් වේ.

 

ආගම දහමේ පවසනවා සේම වාස්තු සහ ජ්‍යෝතිෂ විද්‍යාවන්ගේත් සඳහන් එක්තරා දෙයක් අප සැමටම වැදගත්. ඒ තමා කිසියම් කෙනකුට හෝ පිරිසකට නොසිතූ මොහොතක ආපදාවක් ඇතිවූ අවස්ථාවක, ඒ කියන්නේ ගංවතුරෙන්, සුළි සුළගෙන් හෝ සුනාමියක් වාගේ විපතකින් අසරණ වූ විට තමාගේ රැකවරණය යටතට කැඳවා ඔවුනට පිහිට වන්නේ නම් එය ආත්ම ගණනාවකටම ඔබට ගෘහ වාසනාව හිමි කරදෙන පින්කමක් වෙන බව.

ඔබට උරුම වූ මෙවන් වාසනාවන්ත නිවෙසක දිවි ගෙවන සියලු දෙනාගේම ජීවිත වාසනාවන්ත කර ගැනීමට හැකිවීම කෙතරම් පින් බල මහිමයක් ද? මෙවන් බොහෝ අය සිටිති. නමුත් විශේෂයෙන්ම අප කතා කළ යුත්තේ නො දැනුවත්කමින් හෝ නො පිළිගැනීමෙන් මෙම වාසනාව අහිමි කර ගැනීම පිළිබඳ යි.

දොස් දුරු කරන්න

දෝෂයකින් තොර නිවෙසක් හරියටම නිරෝගී මිනිසකු වගේ. නිවෙසේ පදිංචි වී අතු පතු ගා, මකුළු දැල් කඩා, හුණු තීන්ත පිරියම් කරමින් අඩුපාඩු සපුරා ගෙන මනා නඩත්තුවක් කරනවා නම් හරියටම මා කලින් කී නිරෝගී මිනිසාට ජීවත් වන්නට සුදුසු පරිසරය සකසමින්, ආහාර පාන - අම්ලකර සපයනවා වාගේ වැඩක්. තරගකාරී පරිසරයක ජීවත් වන මිනිසා, තමාගේ නීරෝගී යහපැවැත්මට හේතු වෙන දේ පමණක් තෝරා බේරා ගෙන තව දුරටත් ජීවත් වෙන්නට උත්සාහ කරනවා වාගේ නිවෙසකට වුණත් වෙනස්කම් කිරීමේ දී හිතුමනාපේ නො කර, ඒ පිළිබඳ දැනුම ඇති අයකුගේ උපදෙස් මත කිරීම වඩාත් ප්‍රයෝජනවත් වෙන දෙයක්. වැළපීමට පෙර වැළකීමේ අගය හිතට ගන්න ඕනේ මේ නිසායි.

නිවෙසේ සාමාජිකයන්ට වුවමනා ලෙස කොටස් වැඩිකර ගන්නට තීරණය කිරීම, වහලය වෙනස් කිරීමට ගොස් දෝෂ ඇති කර ගැනීම, නිවෙසට පිටතින් සාදන ළිං - වැසිකිළි වළ හෝ ගේට්ටු ආදිය නිසා නිරෝගී නිවෙසක් වුවද ලෙඩ වෙන්න පුළුවන්. මා මෙය ඔබට පැහැදිලි කළේ සරල උදාහරණ කීපයකිනුයි.

මෙහිදී ඔබ වාස්තුවේදියකුගේ සහය අනිවාර්යයෙන්ම ලබා ගන්න. නිවෙස පරීක්ෂා කර බලා එහි ඇති දොස් මොනවා ද? කුමන ආකාරවලින් නිවැසියන්ට ඒවා බලපායි ද? එම දොස් නිවැරැදි කිරීමට හැකි පිළියම් මොනවා ද? යන්න සහ සැදූ නිවෙසට සිදුවිය හැකි අලාභ හානි අවම වන ලෙස ඒවා සිදුකළ හැකි ක්‍රම ගැනත් එවිට ඔබට දැනගත හැකියි.

දක්ෂ වාස්තුවේදියකු කියන්නේ හරියටම කැඩුම් බිඳුම් වෙදකම ඇතුළු සර්වාංග රෝග විනිශ්චය දන්නා වෙදැදුරකු වගෙයි.

තවත් විදිහකින් මෙය විග්‍රහ කරන්නම්. රෝගියා - වෙදැදුරු අතර ඇති සම්බන්ධයට සමානවම දෝෂ සහිත නිවෙස - වාස්තුවේදියා අතරත් මේ ආකාරයේම ගැළපීමක් තිබේ.

2018/12/19 තරුණි පුවත්පත බලන්න