අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තුවක්...

ජනවාරි 2, 2019

බොහෝ විට වාස්තු ලිපිවලින් විස්තර කරන්නේ නිවෙසකට ඇතිවිය හැකි දෝෂ තත්ත්වයන් පිළිබඳයි. “වාස්තු” කියන්නේ ඇත්තටම නිවෙසේ තියෙන දෝෂයක් ද කියා ඇතැම් විට හිතෙන්න පුළුවන්. වාස්තු විද්‍යාව වැරැදුණොත් නම් දෝෂයක් තමයි.

කලින් සිදුවූ දෝෂ හදා ගන්නයි, දෝෂ නොවී නව ඉදිකිරීම් කරගන්නටයි මෙහෙම උපදෙස් දෙන්නේ. පෙර සිදුවූ වැරැදි ගැනත්,මතුවට වැරදෙන්නට වැඩි ඉඩකඩක් ඇති වැරැදි තැන් ගැනත් දැනගෙන නව අරමුණක් කරා හඹා යාම ඉතාම සාර්ථක ගමනක් වේවි.

අලුත් අවුරුද්දත් අත ළඟ. නව අවුරුද්දක් ලබනවා කියන්නේ අපි තව ටිකක් වයසට ගියා කියන එකනේ. මේ චක්‍රය හැමදාම මේ විදිහටම තියේවි.

හිත හිතා ළතැවෙවී හිටියොත් කරගත්තු දේකුත් නැතිව එකම තැන වයසට යාවි.

ගිය පාර වාගේ මේ ලබන නව වසර උදාවත් කාලා, බීලා, විනෝද වෙලා පමණක් ආරම්භ කරන්න බැහැ.

මොහොතක් නැවතී සිතන්න.

තව කොපමණ වැඩ ප්‍රමාණයක් කිරීමට ඉතිරි වි ඇත් ද? මේ ඔක්කොම ටික සාර්ථකව අවසන් කර ගන්න ඉතිරි ජිවිත කාලය ප්‍රමාණවත් වේවි ද? මෙහෙම හිතෙන කොට හිතට ටිකක් බයකුත් දැනෙනවා.

හිත හිතා සිටීමෙන් කවදාවත් ප්‍රතිඵලයක් නැහැ. කල්පනා කරලා බලන්න.

ඔබගේ ජිවිතයේ තවමත් ඉටු නො වුණු, නමුත් කෙසේ හෝ ඉටුකර ගත යුතු බලාපොරොත්තු ගැන.

ජීවන තරගයේ හෙම්බත් වී සිටින අප සැමට නව වසර ලබන තෙක් ඉතිරිව තියෙන දින කීපය මේ ගැන හිතන්න හොඳ කාලයක් නොවේ ද? කොහොමද අපි ලබන වසර ඇතුළත මේ අරමුණු බොහොමයක්ම ජය ගන්නේ?

බලාපොරොත්තු

ඔබට ඉටු කර ගත යුතු සාධාරණ, ප්‍රධානම, අරමුණු කීපයක් හිතට ගන්න.

සාමාන්‍යයෙන් දහයක් පමණ හොඳටම ප්‍රමාණවත්. ඒවා සටහන් කර ගන්න.

ඔබගේ සටහන් ලැයිස්තුවේ නිවෙසක් ඉදිකිරිම, විභාග ජයගැනීම, නව රැකියා අවස්ථා, රැකියා උසස් වීම, ඉඩකඩම්- යානවාහන - දේපළ බලාපොරොත්තු , විදේශ චාරිකා- වන්දනා ගමන්, දාන මාන, සමාජසේවා කටයුතු, විවාහය ආදී විවිධ අරමුණු තියේවි.

මේ හැම බලාපොරොත්තුවක්ම වසරක් තුළ දී සියයට සියයක්ම ඉටුකර ගන්න අමාරුයි තමයි.

නමුත්,මේ විදිහට ප්‍රධාන ඉලක්ක කීපයක් අරමුණු කරගත් විට 2019 නව වසර උදාවත් සමගම එම වසර තුළ අපට යා හැකි උපරිම දුර පිළිබඳ තීරණයක් ගැනීමට පුළුවන්.

ඉදිරියට එන මාසයක් මාසයක් ගානේ ඔබ සිටිය යුතු ස්ථානයත්, ඒ වන විට ලබා ඇති ප්‍රගතිය බැලීමටත් හැකිවන ආකාරයේ සැලසුමක් පිළියෙල කරගන්න ඕනේ.

2019/01/02 තරුණි පුවත්පත බලන්න.