වර්ණයේ චමත්කාරය දිගු කලක් රඳවන මල් කුමාරියයි සීනියාස්

අප්‍රේල් 24, 2019

අලංකාර මල් යායක සුන්දරත්වය ඔබේ ගෙඋයනට කැඳවන මල් වර්ග බොහොමයක් අතරේ කැපී පෙනෙන මල් කුමාරියයි “සීනියාස්” (ඛඪදදඪචඵ). පාට පාට මල් රැසක් එක යායට පිපුණු විට පුුදුමාකාර ලස්සනක් රැගෙන එන මේ සීනියාස් ඔබ පමණක් නොව ඔබගේ නිවෙසට ගොඩවදින අමුත්තන්ගේ ද නෙත පිනවනු නොඅනුමානයි.

ඩේසි පවුලට අයත් මේ සීනියාස් සෑහෙන අතීතයක සිට ලංකාවේ ගෙමිදුල හැඩ වැඩ කරන්නීය. “ඇස්ටරේසියේ” (ඒඵබඥපචජඥචඥ) කුලයට අයත් සීනියාස් ශාකයේ මේ වනවිට ප්‍රභේද 25 ක් පමණ මල් ලෝලීන් අතර ජනප්‍රියව පවතී. එමෙන්ම වරින්වර නව ප්‍රභේද එකතුවන මේ මල් වර්ගය වාර්ෂික සහ බහුවාර්ෂික ලෙසින් කොටස් දෙකකට වෙන් කළ හැකියි.

ඉතා කුඩා මල් සහිත ප්‍රභේද මෙන්ම විශාල මල් සහිත ප්‍රභේද, කුරු වර්ගයන් සහ උස වර්ගයන් ආදී වශයෙන් මේ සීනියාස් ප්‍රභේද කළහැකි වේ. තවද තනිපෙති මෙන්ම පෙති තට්ටු කිහිපයක් ඇති වර්ග ද කිහිපයකි. පෙති ප්‍රමාණය වැඩි පොකුරු මල් සහිත දෙමුහුන් ප්‍රභේද ද වර්තමානයේ දැකිය හැකි අතර මේවායේ මල් බොහෝවිට විශාල වේ.

ඕනෑම මලක පෙති ඉතාමත් සුසිනිඳු බවින් යුතු වුවද සීනියාස් මලෙහි පෙති තරමක් රළු ස්වභාවයකින් යුතු වේ. එමෙන්ම පත්‍ර ද ගොරෝසු ස්වභාවයක් ගනියි. ශාකය ඉහළට ඇදී යන අතර උඩු අතට මල් පිපේ. තරමක් උසට වැඩෙන විට දළු කොටස් කඩා දැමීම හරහා අතු ඉති වැඩී පඳුරු ස්වභාවයකට ශාකය පත් කරගත හැකිවේ.

පැළ බෝ කිරීම

සීනියාස් මල් විකසිත වී සෑහෙන කාලයක් සුන්දරත්වය විහිදුවන අතර මල් මිලාන වීම නොව දුර්වර්ණවීමයි සිදුවන්නේ. එම කාල වකවානුව බීජ ලබා ගැනීමට සුදුසුම කාලයයි. එම අවස්ථාවේ මල් පිටින්ම කඩාගෙන එම මල් කැබලිකර හොඳින් වියළා ගන්න. ඉන්පසුව මල්පෙති කැබලි සමඟින්ම තවාන් පාත්තියේ අතුරාගන්න. පසුව තවාන් මිශ්‍රණය හා හොඳින් මිශ්‍රවන පරිදි අතින් කලවම් කරන්න. මේ තවාන් පාත්තියේ තෙතමනය සහ උෂ්ණත්වය රඳවා තබාගැනීම වැදගත් අතර සතියක් පමණ ගතවනවිට සීනියාස් පැළ මතුවීම ඇරඹේ.

තවාන් පාත්තිය සැකසීම

මේ සඳහා හිරුඑළිය පතිත නොවන ස්ථානයක් තෝරාගන්න. අනතුරුව,

* වියළි ගොම කොටස් 01 ක්

* වැලි කොටස් 01 ක්

* රළු කොටස් ඉවත් කළ මතුපිට පස් කොටස් 01 ක්

* හළාගත් කොහුබත් කොටස් 1/2 ක්

වශයෙන් ගෙන මිශ්‍රණයක් සකසා එය තවාන මතුපිට අඟල් 1 - 2 ත් අතර ඝනකමට දමාගන්න. මෙයට දිනපතා ජලය යෙදිය යුතු අතර ජලය රැඳී නොතිබීමට වගබලාගන්න.

පැළ සිටුවීම

සාමාන්‍යයෙන් සීනියාස් පැළ සිටුවීමට පෙර මල් පාත්ති වශයෙන් සකස් කරගත යුතුය. එනම් ගමන් කරන අඩිපාර දෙපස, නොඑසේනම් ගස් වටා හෝ තාප්පය අයිනේ සකස් කළ පාත්ති ලෙස රවුම්, හතරැස් ආදී හැඩතල සහිතව සිටුවා ගත හැකිය. තණ පළසක් මධ්‍යයේ රවුම් හෝ හතරැස් පාත්ති ලෙස ද මේ සීනියාස් වගා කිරීමෙන් කදිම සුන්දරත්වයක් ලබාගත හැකියි. තවද තරමක් විශාල සිමෙන්ති බඳුන්වල ද මේ සීනියාස් වගාකර ඔබට අවශ්‍ය ස්ථානවල තබා අපූරු අලංකාරයක් මතුකර ගත හැකියි.

ස්ථිර බිමෙහි සිටුවීම සඳහා සුදුසු

වගා මාධ්‍යය

* වියළි ගොම කොටස් 1/2 ක්

* කොම්පෝස්ට් කොටස් 1/2 ක්

* වැලි කොටස් 01 ක්

* මතුපිට පස් කොටස් 01 ක්

(රළු කොටස් ඉවත්කර)

පාත්තියේ පස බුරුල්කර කැට පොඩිකර නියමිත පරිදි සකසා පාත්තියේ මුදුනට ඉහත වගා මාධ්‍යය අතුරාගන්න. අනතුරුව අඟල් 3ඔ3 පරතරයේ සිට අඟල් 12ඔ12 දක්වා පරතරයකින් පැළ සිටුවාගන්න. පරතරය වැඩිවනවිට මේ ශාක පඳුරු ආකාරයට සකසා ගත හැකියි. නොඑසේ නම් මෙහි අලංකාරයක් දැකිය නොහැකිය.

ඊට අමතරව සීනියාස් බීජ කෙළින්ම ස්ථිර පාත්තිවලට දමා පැළ කළ හැකියි. එහෙත් එවිට ඒකාකාරි ස්වභාවය අඩුවක් විය හැකියි.

මල් පිපී අවසන් වූ ශාක පාත්තියෙන් ඉවත් කළයුතුය. එවිට කුඩා පැළ වැඩී එයි. කොම්පෝස්ට් පොහොර මාසයකට පමණ වරක් දැමීම ප්‍රමාණවත්වන අතර හොඳින් හිරුඑළිය වැටීම, ජලය සැපයීම වැනි කරුණු නිසා නීරෝගි සහ සුන්දරත්වයෙන් අනූන සීනියාස් මල් යායක් ඔබටත් වගාකරගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී විසිතුරු මල්වගා උපදේශක

මාබොදලේ

රංජිත් කළුආරච්ච්