වර්ණවත් මලින් පිරි ‘කැමීලියා’

මැයි 1, 2019

 

පාට පාට මලින් පිරුණු වර්ණවත් ගෙඋයනක ඉදිවූ කැදැල්ල මොනතරම් සොඳුරු ද? උදෑසන නිවෙසින් පිටතට පා තබන ඔබේ නෙත ගැටෙන්නේ පිනි තැවරුණු නේක මල් ගොමු සමූහයක් නම්, ඒ මල් අතරේ එහා මෙහා සැරිසරන මීමැස්සන්, සමනලයන් නම්, ඔබේ සිතට දැනෙන සතුට, සැහැල්ලුව කොයිතරම් ද?

 

හැමදාමත් ඒ අසිරිසිරිය ගෙඋයනට කැඳවන්නට නම් අලංකාර මල් පිපෙන ශාක බොහොමයක් ඔබේ ගෙවත්තට එකතු කරගත යුතු වේ. ඒ සඳහා හරි අපූරුවට ගැළපෙන ශාකයකි ‘කැමීලියා’ (Camellia)).

මල් සඳහාම වවන ශාක අතරේ දිගු කාලයක් පවතින, දිලිසෙන සුලු ස්වභාවයේ පත්‍ර සහිත මේ කැමීලියා ඔබට වෛවර්ණ මල් පිරිනමන්නීය. වර්තමාන මල් වෙළෙඳපොළ තුළ මේ කැමීලියා හි නව ප්‍රභේද කිහිපයක් දැකිය හැකි අතර දෙමුහුන් ප්‍රභේද ද බොහොමයකි. ඒවායේ ද පත්‍ර මෙන්ම මල් ද ඉතා දැකුම්කලුය.

කැමීලියා මල් පිපෙන කාලය එක් එක් ප්‍රභේද අනුව වෙනස්වන අවස්ථා ද දැකිය හැකියි.

එබැවින් ගෙවත්තක කැමීලියා ප්‍රභේද කිහිපයක්ම සිටුවා ගැනිම හරහා ඒ ඒ කාල වකවානු තුළ මල් පිපී ගෙඋයන සරසනු ඇත.

 

ප්‍රභේද

කැමීලියා ප්‍රභේද ගණනාවක් ඇති අතර එයින් ඉතා ජනප්‍රිය ප්‍රභේද කිහිපයකි මේ.

කැමීලියා සින්ඩරෙල්ලා

(Camellia Zinderella)

කැමීලියා ජැපොනිකාස්

(Camellia Japonicas)

කැමීලියා සැසන්කුවාස්

(Camellia Sasanquas)

 

දෙමුහුම් ප්‍රභේද

(Hybrid Varieties)

 

මෙවැනි ප්‍රභේද සහිත කැමීලියා කුඩා උසක් (අඩි 04 - 05 ක්) සහිත පඳුරු ශාකයක් ලෙසින් මෙන්ම වැඩි උසක් සහිත ශාකයක් ලෙසද සකසා ගතහැකිය.

මේවා අතු කැබලි පැළ කර ගැනීමෙන් මෙන්ම බීජ මාර්ගයෙන් ද ව්‍යාප්ත කරගත හැකි වේ.

 

වගා මාධ්‍යය

සාමාන්‍යයෙන් කැමීලියා සඳහා මනා සාරවත් පසක් තිබිය යුතු අතර එහි තරමක ආම්ලික ස්වභාවයක් ද පැවතිය යුතුය.

එනම් නඩ් අගය 5.5 - 6.5 ත් අතර පරාසය සුදුසු වේ.

පසෙහි කාබනික ස්වභාවය ශාකයේ මනා වර්ධනයට අවශ්‍යවන අතර එසේ නොමැති වුවහොත් පත්‍ර කහ පැහැති වී ශාකයේ වර්ධනය බාල වේ. එමෙන්ම ශාකය මුල ජලය රැඳී තිබීම ශාකයට අහිතකර තත්ත්වයක් ඇතිකරන අතර හොඳ ජලවහනයක් සහිතව වගා මාධ්‍යය සකසා ගැනීම ඉතා වැදගත්.

 

ජලය සැපයීම

අනෙකුත් පඳුරු සහිත ශාකවලට මෙන්ම මෙම කැමීලියා වලටද ජලය සැපයීම කළයුතු වේ.

එනම් අලුතින් සිටුවා ඇති ශාක සඳහා දිනකට වරක් ජලය සැපයීමත්, අවුරුදු තුනක් පමණ පැරැණි ශාකයකට සතියකට තෙවරක් ජලය සැපයීමත් ප්‍රමාණවත් වේ.

 

2019/05/01 තරුණි බලන්න