නිවෙස ලස්සන කරන්න අලුත් මල් බඳුන්..

ජුනි 5, 2019

නිවෙස ලස්සනට තබා ගන්න අපේ කාන්තාවන් ගොඩක් කැමැතියි. ඒ සඳහා වියපැහැදම් කරන ප්‍රමාණයත් ඇතැම් විට වැඩි වෙන්නට පුළුවන්. කලින් කලට වෙනස් පෙනුමක්, වැඩි ලස්සනක් නිවෙසට ලබා දෙන්න උත්සාහ කරන ඔබට අද අපි ඉදිරිපත් කරන්නේ නිවෙස ලස්සන කිරීමට යොදා ගතහැකි මල් බඳුන් වර්ග කිහිපයකි.

මෙම මල් බඳුන්වල ඇති විශේෂත්වය වන්නේ මේවා ඔබට ම නිර්මාණය කරගත හැකි ඒවා වීමයි. නිර්මාණශීලී ඔබට මෙම නැවුම් අදහස් මඟින් වෙනස් වෙනස් ආකාරයේ මල් බඳුන් නිර්මාණය කිරීමට පුළුවන්.

භාවිතයෙන් පසු ඉවත දමන වීදුරු බෝතල්වලට නව පෙනුමක් ලබා දීමට ඔබේ මැහුම් පෙට්ටියේ ඉතිරි වී ඇති රේන්ද, රිබන්, බොත්තම් ආදිය යොදා ගත හැකියි. එමෙන්ම විවිධ වර්ණයෙන් යුතු බෝතල් මඟින් කදිම වර්ණ සංයෝජනයක් කිරීමෙන් අලුත් පෙනුමක් ලබා ගැනීමට පුළුවන්.

එක වර්ගයක පැන්සල් මඟින් වීදුරුවක් ආවරණයකර එය රිබන් එකකින් ගැටගසා කදිම මල් බඳුනක් නිර්මාණය කළ හැකියි. එමෙන්ම විවිධ වර්ණයේ පැන්සල් මඟින් ද මෙවැනි මල් බඳුනක් ඔබේ කැමැත්ත අනුව නිමවා ගත හැකියි.

බිත්තියේ රඳවා ඇති බිත්ති සැරසිල්ලක ඇති හිදැසක කුඩා මල් කිනිති කිහිපයක් රැඳවීමෙන් මෙන්ම කුඩා වීදුරු බෝතලයක් (ජෑම් බෝතල් වැනි) රඳවනයකින් හෝ යම් ආධාරකයකින් බිත්තියේ රැඳවීමෙන් ද ඔබට අලංකාර මල් බඳුන් නිර්මාණය කරගත හැකියි.

මේ සඳහා අවශ්‍ය වන්නේ යමක් දෙස වෙනස් ඇසකින් බලා නිර්මාණාත්මකව සිතා යමක් කිරීමේ හැකියාවයි.