ගෙමිදුලේ ජල උද්‍යානයට ඕලු, නෙළුම්, මානෙල්

ජුනි 5, 2019

වැව්, පොකුණු, දියකඩිති ආශ්‍රිතව විකසිත වී මඳ සුළඟේ නැළවෙන ඕලු, මානෙල්, නෙළුම් වැනි පුෂ්පයන් නෙත ගැටෙනා විට අපේ සිත නිතැතින්ම ඇදී යන්නේ ගැමි පරිසරය වෙතයි. ඒ ගම්බද සුන්දරත්වය තම ගෙමිදුලට ද එකතු කරගන්නට රුචිකත්වයක් දක්වන බොහෝදෙනකු කුඩාවට ජල උද්‍යානයක් තනා ගන්නට දැන් දැන් පුරුදු වී සිටිති.

විශේෂයෙන්ම ඇළ, දොළ, වැව්, පොකුණු සරසන තරමක් විශාල ඕලු, නෙළුම්, මානෙල් වෙනුවට වර්තමාන මල් වෙළෙඳපොළ තුළ දකින්නට ඇත්තේ බැංකොක්වලින් මෙරටට ආනයනය කළ ජලජ පුෂ්පයන්ය.

එබැවින් මේ වනවිට අපේ නෙතට නුහුරු අපූරු ඕලු, මානෙල් වර්ග කිහිපයක්ම මේ මල් ලෝකයට එකතු වී තිබේ.

ඉතා අලංකාර වර්ණ සහිත වර්ග, ලොකු කුඩා වශයෙන් වෙන් වු වර්ග සේම පොකුරු ලෙසින් මල් පෙති බොහොමයක් සහිත වර්ග ද මේ අතර වේ.

‘නයිම්පේසියේ’ (Nymphaeaceae)  කුලයට අයත් ජලජ ශාකයන් හී පත්‍ර සාමාන්‍යයෙන් දැකිය හැක්කේ දියෙන් ඉහළට එසවී ඇති ආකාරයටයි. නමුත් මේ වර්තමානයේ දැකිය හැකි ශාකවල පත්‍ර එලෙස ජලයෙන් උඩට එසවී නොසෑදෙන අතර නෙළුම් ශාකයේ පත්‍ර ඉහළට එසවුණද වකුටු වූ ස්වභාවයක් දැකිය හැකියි.

තවද මේ පත්‍ර නැටි අනෙක් ඒවාට සාපේක්ෂව ශක්තිමත්ය. ඕලු ආදියෙහි පත්‍ර දියමත පාවෙන අතර බොහෝවිට වෘත්තාකාර හැඩයක් ගනියි. නැටි ද ශක්තිමත් නැත.

හිරුඑළිය

මෙහි ප්‍රධාන සාධකය හිරුඑළියයි. උදෑසන හිරුඑළිය සමඟ ක්‍රම ක්‍රමයෙන් විකසිතවන මේ මල් සැඳෑ කාලයේ හිරු අවරට යත්ම මුකුලිත වේ.

නැවතත් පසුදින හිරු එළියත් සමඟම අවදි වි සවසට හැකිලී යයි. මෙලෙස දින හතරක් පුරාවට පිපෙන මල් අනතුරුව පරවී පෙති හැලේ. එබැවින් මේ ජලජ පුෂ්ප සඳහා පූර්ණ හිරුඑළිය අවශ්‍ය බව කිව යුතුමයි.

පැළ සකසාගැනීම

පැළ බෝකර ගැනීම සඳහා මෙහිදී ක්‍රම දෙකක් භාවිත කළ හැකිය.

එනම් පිපී අවසන් වූ මල්වලින් හටගන්නා බීජ පැළ කරගැනීම සහ ශාක මුල්වලින් (වැඩුණු මවු ශාකයෙන්) වෙන් කරගත් පැළ සිටුවීමයි. මේ වනවිට ආනයනය කරනලද විවිධ ප්‍රභේදවල බීජ මෙන්ම පැළ ද වෙළෙඳපොළ තුළ දක්නට ලැබේ.

වර්තමානයේ දී බොහෝවිට මෙම ජලජ ශාක සිටුවීම සඳහා මඩ පොකුණු භාවිත නොකරන අතර සකස් කරගත් කෘත්‍රිම පොකුණු හෝ සිමෙන්තියෙන් සෑදූ විශාල බඳුන් භාවිත කෙරේ.

කෘත්‍රිම පොකුණක බොහෝ විට මේ ජලජ ශාක සිටුවීමට කුහර වැනි කොටස් නිර්මාණයකර තිබුණත් එසේ නොවන අවස්ථාවක සහ විශාල ජල බඳුන්වල මේ ජලජ ශාක සිටුවා ගැනීමේ දී අඟල් 12 - 18 පළල සහ අඟල් 6 - 10 අතර ප්‍රමාණයේ ගැඹුරක් සහිත ප්ලාස්ටික් හෝ සිමෙන්ති බඳුනක් භාවිත කරන්න.

 

2019/06/05 තරුණි බලන්න