3D තාක්ෂණය ඔබේ නිවහනට අසිරිය කැන්දන ටයිල් කලාව

ජූලි 3, 2019

 ෂා..... මේ නිර්මාණ කොයි තරම් අපූරු ද? ඔබට මෙය දකින විටම සිතට නැඟෙන්නට ඇත්තේ එවැනි සිතුවිල්ලක්. සැබැවින්ම මෙය තමයි නවීන ගොඩනැගිලි තාක්ෂණයේ දියුණුව. වර්තමානයේ ගොඩනැගිලි තාක්ෂණය අප නොසිතන වේගයෙන් දියුණු වෙනවා.

ගොඩනැගිලි තාක්ෂණය කියූ පමණින්ම ඕනෑම කෙනකුට මුලින්ම මතකයට එන්නේ අපේ සොඳුරු නිවහන ලස්සන කරන ආකාරයයි. සතුට, සෙනෙහස පිරි මේ සොඳුරු කැදැල්ල ලස්සන කරන මෙම ටයිල් කලාව තමයි 3 D තාක්ෂණයේ ත්‍රිමාණ ටයිල් කලාව ලෙසින් හඳුන්වන්නේ. මෙම තාක්ෂණය දැන් ලෝකය පුරාම ජනපි‍්‍රය වෙලා. දැන් දැන් අපේ රටත් මෙම 3 D කලාව වැලඳගෙන තිබීම සොඳුරු කැදැල්ලක අසිරිය සොයන ඔබට සතුටුදායක ආරංචියක් බව නොකියාම බැහැ.

විශේෂත්වය වන්නේ ත්‍රිමාණ ලෙසින් රූප දැකගත හැකි වීමයි. මේ වනවිටත් අප රටේ ජනපි‍්‍රය ටයිල් නිෂ්පාදන ආයතන කිහිපයක් මඟින් මෙම ටයිල් වර්ගය නිෂ්පාදනය කරන්න පටන් අරන්. ඊට අමතරව චීනය, ඉන්දියාව වැනි රටවලිනුත් ආනයනය කරනවා. ඒ අතුරින් අප රටේ නිපදවන 3 D ටයිල්, ප්‍රමිතිය අතින් වඩාත් උසස් බව ගොඩනැගිලි තාක්ෂණ ශිල්පීන් සඳහන් කරයි.

3 D ටයිල් , වර්ග දෙකකින් නිපදවේ. ඉන් එක් වර්ගයක් වන්නේ මැට් වර්ගයේ ෆ්ලෝ ටයිල් වර්ගයයි. අනෙක් වර්ගය වන්නේ ග්ලොස් වර්ගයේ ටයිල්ය. මේ අතුරින් ග්ලොස් වර්ගයේ ටයිල් බිමට ඇල්ලීමට සුදුසු නොවන අතර එය ඉතාම සුමට ලිස්සන ස්වභාවයක් ගනියි. මෙලෙස නිෂ්පාදනය කළ ටයිල් අඟල් 9 ය 9 සිට අඩි 4 ය 4 දක්වා ප්‍රමාණයෙන් යුතු වේ.

ටයිල් තෝරා ගැනීම

මෙම ටයිල් අතුරින් හොඳම නිෂ්පාදනය වන්නේ හෝමොජිනියස් ලෙස හඳුන්වන ටයිල් වර්ගයයි. මෙහි විශේෂත්වය වන්නේ ස්ථිර තට්ටු (ඹ්චරඥපඵ) කිහිපයක් නොමැතිව තනි ටයිල් එකක් ලෙස නිපදවා තිබීමයි. 3 D වර්ගයේ මෙම ටයිල් නිෂ්පාදනය කිරීමේ දී 40% ක ප්‍රමාණයක් අපතේ යෑම සිදුවේ. මැටි පිලිස්සීමේ දී ත්‍රිමාණ හැඩය ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් ගැනීමට සිදු වෙයි. මේ නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවත් එසේ අපතේ යන ටයිල් විවිධ ක්‍රම මඟින් නැවතත් වෙළෙඳපොළට එකතු වීම එයට පිළියමක් ලෙසින් සඳහන් කළ හැකියි.

ඔබ ටයිල් තෝරාගැනීමේ දී ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන ගැන හොඳ අවධානයක් යොමුකළ යුතුයි. විශේෂයෙන්ම මෙවැනි ත්‍රිමාණ ටයිල් වර්ග තෝරා ගැනීමේ දී එම ටයිල්වල පැත්තෙන් බැලූ විට එහි තත්ත්වය හොඳින්ම නිරීක්ෂණය කළ හැකියි.