මේ ඔබේ දෑස් ඉදිරිපිට නිරන්තරයෙන් වින්දනය කළහැකි කලාවයි

ජූලි 17, 2019

මිනිසුන් වශයෙන් ඉපදුණු අප සැමගේ ආශාව බවට පත්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච විධ රසයන් ඉන්ද්‍රීය ගෝචරකර මොළය කරා ගෙනගොස් රස වින්දනය කිරීමයි.

එපමණක් නොව ඒ ආශාවන් සිඳලීමට උපයෝගී කරගන්නා අසපු, තපෝවන, භාවනා මධ්‍යස්ථාන වැනි ස්ථානවල පරිසරයේ සුන්දරත්වය ද ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යයි.

ඒ සිත සේම ගත ද සන්සුන්කර, එකම අරමුණක් කරා ඇද බැඳ තබාගැනීමේ හැකියාවක් මේ සෞන්දර්යාත්මක වටපිටාවක් සතු නිසාමයි.

රැකියාවක එහෙමත් නැතිනම් ව්‍යාපාරික කටයුත්තක යෙදෙන ඔබට එම රාජකාරියට අමතරව තවත් දහසකුත් එකක් කටයුතුවල යෙදෙන්නට සිදු වේ.

අප්‍රමාණ වූ මේ වැඩකටයුතු නිසාම හටගන්නා විවිධාකාර චිත්ත පීඩා, ශාරීරික අපහසුතා සේම විවිධ ආතතීන් සහිතව ගෙවන කාලය ඔබව රෝග රැසක් වෙත රැගෙන යන්නේ ඔබටත් නොදැනීමය. එමෙන්ම නොයෙක් ආවේග කරා ද ඔබව යොමු කරවයි.

එබැවින් ඔබ ජීවත්වන පුංචි හෝ ඉඩකඩ, අවට වටපිටාව සුන්දරත්වයෙන් පිරුණු තැනක් වී තිබේනම් එය ඔබට සේම ඔබේ පවුලේ සාමාජිකයන්ට ද ඉමහත් අස්වැසිල්ලක් රැගෙන එනවා නොඅනුමානයි..

‘උද්‍යාන අලංකරණය’ යනු තමා මේ මහපොළොව මත වෙන් කරගත් ස්වාභාවික පරිසරයේ කොටසක්, තමාට ගැළපෙන ආකාරයට සකසා ගැනීමයි.

එමෙන්ම ඒ හරහා යම් චිත්ත ආස්වාදයක් ලබාගැනීමයි. එහෙත් මේ නිර්මාණකරණය යම්කිසි සැලැස්මකට, ස්වාභාවිකත්වයට ගැළපෙන ආකාරයට මෙන්ම තමාගේ එදිනෙදා විවිධ කාර්යයන් සඳහා බාධාවක් නොවන ආකාරයට සිදු කළයුතු වේ. මන්ද එලෙස සිදු නොකළහොත් ඔබ බලාපොරොත්තුවන සැනසුම, සැහැල්ලුව වෙනුවට මානසික පීඩාවන් උද්‍යානය තුළින් ද මතුවීමට ඉඩකඩ ඇති බැවිනි.

 

2019/07/17 තරුණි බලන්න