සුන්දර නිවහනකට සරල සැරසිලි මොන්ස්ටෙරා විසිතුරු

අගෝස්තු 7, 2019

සොබාදහම අපට තිළිණ කළ දේ අතර ගහ, කොළ, වැල් විශේෂයි. කොළ පැහැයෙන් පිරුණු ලෝකය මොනතරම් ආකර්ෂණීය ද? සිතට සතුටත් ගතට හා දෑසට සිසිලසත් ගෙනන සදාහරිත කොළ පැහැය නිවෙස අලංකාර කරන්න ද භාවිත කළ හැකියි. එමඟින් නිවෙසට සොඳුරු පෙනුමක් සමඟ ගෙතුළ සිසිලසත් කදිමට රඳවා ගත හැකියි.

දීප්තිමත් තද කොළ පැහැයෙන් ෆෘට් සැලඩ් ප්ලාන්ට්, ස්විස් චීස් ප්ලාන්ට් ආදී නම්වලින් ජනප්‍රිය වී ඇති මොන්ස්ටෙරා දැකුම්කලු පත්‍ර නිසා කා අතරත් ජනප්‍රිය වූ පැළෑටියකි. මේ විචිත්‍ර පත්‍ර යොදාගනිම්න් සරල සැකසුම් නිර්මාණය කරගන්න පුළුවන්. එම සැකසුම් සොඳුරු නිවෙසක සිහිනය යථාර්ථයක් කරගන්නට ඔබටත් අපූරුවට ගළපාගත හැකියි.

විශාල පත්‍ර සහිත මොන්ස්ටෙරා දකුණු මෙක්සිකෝව නිජබිම කරගෙන උපන් පැළෑටියක් වුවත් වර්තමානයේ අපේ රටේ සුලබ පැළෑටියක් ලෙස හඳුනාගත හැකියි. විදෙස් රටවල යුවතියන් තම මංගල මල් කලඹට මෙන්ම මංගල සාදය විචිත්‍රවත් කරගන්නා මල් සැකසුම් සඳහාත් මොන්ස්ටෙරා පත්‍ර භාවිත කරනවා. අපේ රටේ ද විවිධ සැකසුම් සඳහා භාවිත කරන මෙම විචිත්‍ර පත්‍ර නිවෙස සරසන්න සොඳුරු සැකසුම් ලෙසින් මෙලෙස හැඩවී තිබෙනවා. ඉවත දමන වීදුරු බඳුන් මෙන්ම නිවෙසේ සුලබව ඇති ජොග්ගු, වීදුරු බෝතල්, බෑග්, තිරිවානා ගල් කැබැලි ආදිය උපයෝගී කරගෙන මේ ලස්සන සැකසුම් කරගත හැකියි. තනි පත්‍රයක් පත්‍ර දෙකක්, තුනක් ආදී ලෙස විවිධ ප්‍රමාණයෙන් මොන්ස්ටෙරා කොළ අරගෙන මේ සැකසුම් කළ හැකියි. මෙහිදී පත්‍රවල නටුව කපන දිග ගැන සැලකිලිමත් විය යුතුයි. මෙහි ඇති නිර්මාණ දෙස බැලීමෙන් එම සැකසුම් සඳහා විවිධ දිගට පත්‍ර භාවිතකර ඇති ආකාරය පිළිබඳ දැනුමක් ඔබටත් ලබාගත හැකියි. පත්‍ර මළානික නොවී ජීවීබවින් රඳවා ගන්න ජලය භාවිත කළ යුතුයි. ඒ වගේම තෙත පුළුන් නටු අගට තබා ගැටගසා ගැනීමෙන් ද එහි ජීවීබව රැකගන්න පුළුවන්. එසේ නම් මිලක් වැය නොකරම ඔබේ නිර්මාණශීලී හැකියාවෙන් මෙවන් අපූරු නිර්මාණ කරන්න. මේ සොඳුරු සැකසුම් ඔබේ නිවෙසට සිසිලසක් සමඟ ජීවී බවක් රැගෙන එන්නට කදිමයි නේද?