ගෙ උයන සරසන්නට සුදුසු ශාක තෝරාගන්නේ මෙහෙමයි

අගෝස්තු 21, 2019

නෙත පිනන, සිත නිවන සොඳුරු තෝතැන්නක් ලොවේ වේ නම් ඒ අපේම නිවෙස සහ ගෙමිදුලයි. තමන් සතු වත් පොහොසත්කම්, රුචි අරුචිකම් අනුව මේ නිවෙස සහ ගෙවත්තේ ප්‍රමාණය, හැඩතල, අලංකාරබව අඩුවැඩි වූවද ඕනෑම කෙනකුගේ සිත තුළ නම් සිහින පාරාදීසයක් මැවී තිබෙනවා නොඅනුමානයි.

එබැවින් සිතෙහි මැවෙන ඒ සිහින පාරාදීසය තමන්ට හැකි අයුරින් යථාර්ථයක් බවට පත් කරගන්නට අපි කවුරුත් දැඩි කැමැත්තක් දක්වන්නෙමු. විශේෂයෙන්ම නිදහසේ කාලය ගත කළ හැකි ආකාරයට අපූරු ගෙඋයනක් නිර්මාණය කරගන්නට සැවොම උනන්දුවක් දක්වන අතර, අපේ මේ ලිපි මාලාවේ පරමාර්ථය වන්නේ ද ඔබට මනරම් ගෙඋයනක් නිර්මාණය කරදීමයි.

සාමාන්‍යයෙන් උද්‍යානයක් නිර්මාණය කිරීමේ දී යොදාගනු ලබන අංග කොටස් දෙකකි. එනම්,

1. මෘදු අංග

2. රළු අංග

මෙහිදී රළු අංග යෙදීමට වඩා මෘදු අංග යෙදීමේ දී ඉතාමත් කල්පනාකාරී වියයුතු අතර අද අපි කතාබහට ලක් කරන්නේ මෙම මෘදු අංග භාවිත කිරීම පිළිබඳයි.

උද්‍යානයක හෝ වෙනත් ස්ථානයක ශාකයක් සිට වූ විටදී එය සිටවූ ආකාරයටම නොතිබේ. එනම් මේ ශාකය සෙමෙන් වැඩෙන්නට පටන් ගනියි. කාලය ගත වනවිට ඇතැම් පැළෑටි රූස්ස ගස් බවට පත්වන අතර තවත් පැළෑටි සුළු වශයෙන් පමණක් වැඩී තිබෙනු දැකිය හැකියි. එමෙන්ම මෙම ශාකවල අතු ඉති මැරීයන අතර වියළී, මියගිය පත්‍ර බිම පතිත වේ. මේ හේතු නිසා උද්‍යානයට ගැළපෙන ශාක පිළිබඳ වඩාත් නිවැරැදිව විමර්ශනාත්මකව සිතා බලා තෝරා ගතයුතු වේ.

අලංකාරය නිසා බාධාවීම්

ඔබ නිවෙසට පැමිණෙන මාර්ගය දෙපස අලංකාර කිරීමට ශාක සිටුවන්නේ නම් ඒවා තවත් අවුරුදු 05 ක් 10 ක් ගියපසු වැඩෙන ආකාරය මෙන්ම පැතිරෙන අයුරු ද සිතා බැලිය යුතුය. මන්ද එවැන්නක් නොසිතා සිටුවන ශාක නිසා මාර්ගය අවහිර වීමත්, උද්‍යානයේ අලංකාරය නිසා දෛනික ජීවිතයේ විවිධ කටයුතු කරගැනීමට අපහසුවීමත් සිදුවිය හැකියි.

නිතිපතා සත්කාර

එමෙන්ම ඔබ සිටුවන ශාකවලට පොහොර, ජලය සැපයීම කළයුතුය. එනම් උද්‍යානය ඔබේ අවධානයට නිරතුරුව ලක්විය යුතු අතර නිතිපතා ජලය යොදන ශාක තෝරා ගැනීමේ දී ඒ සඳහා ඔබට කාලය වැය කළහැකිදැයි සිතා බලන්න.

2019/08/21 තරුණි බලන්න