පිටුපස දොරත් ඉතා වැදගත්

සැප්තැම්බර් 11, 2019

සුපසන් දිවියක් පතන කවුරුත් සුන්දර නිවහනක් වෙනුවෙන් දෑඟිලි ගනිති. මෙසේ පෙරුම් පුරා සාදාගත් නිවහන ඔබේ දිවියට ආශීර්වාදයක්ම විය යුතුයි.

එහෙත් නිවෙසක ලස්සන පිළිබඳ සිතුවත් බොහෝදෙනා මඟහැර යන දෙයක් වන්නේ වාස්තු දෝෂයන්ය. එනිසාම ඔබ නොසිතා කරන කියන දෙයකින් වුවද වාස්තු දෝෂ ඇති විය හැකියි. එවැනි වාස්තු දෝෂ කිහිපයක් පිළිබඳ මෙලෙස දැනුවත් වෙමු.

පිටුපස දොර

නිවෙසක ප්‍රධාන දොරටුව කියන්නේ නිතරම කතා බහ කරන, එහි වාස්තු විද්‍යා කරුණු ගැන බොහෝ දෙනා දන්නා අංගයක්. ප්‍රධාන දොරෙන් නිවෙසට ඇතුළුවීමේ සිට පෑල දොරෙන් පිටවන අවස්ථාව තෙක් සමස්ත නිවෙසම සක්‍රිය වාස්තු පද්ධතියක් සේ ක්‍රියා කරන බව ඔබ ඇතැම්විට නො දන්නවා විය හැකියි. ඒ කියන්නේ මංගල උළුවස්සෙන් නිවෙසට ආ සිරියාව, බලය, ශක්තීන් ආදිය නිවෙසටත්, එහි පදිංචි අයටත් මනාව බද්ධ කිරීමේ, කාවැද්දීමේ හැකියාවක් මෙම “පිටවීමේ දොරට” පවතිනවා. නිවෙසට ඇතුළුවන මහා උළුවස්සට අප දක්වන සැලකිල්ලට නො අඩු සැලකිල්ලක් නිවෙසේ ප්‍රධාන පිටවුමටත් තිබිය යුතු බව පුරාණ ඍෂිවරුන්ගේ ද නියමයි.

 

පෝෂණය කරන ස්ථානය

ප්‍රධාන දොර සමඟම නිවෙසට ඇතුළුවීමේ හෝ පිටවීමේ පරිවාර දොරටු කීපයක් දිශාවන් ගළපා ඇතුළත් කළ යුතු වෙනවා. මෙම දොරටු අතරින් සාමාන්‍යයෙන් අප පිටවීමේ දොරටුව යනුවෙන් හඳුන්වන්නේ කුස්සියෙන් පිටවන දොරටයි. නිවෙසේ ආහාර පාන සකසන, නිවැසියන් පෝෂණය කරන ස්ථානය වන්නේ මුළුතැන්ගෙයයි. මෙහි භාරකාරීත්වය ප්‍රධානවම ලැබෙන්නේ ගෘහණියටයි. මුළුතැන්ගේ පිහිටන ස්ථානය, දිශාව අනුව නිවැරැදි බව සහ එහි ළිප, පෝරණුව, ජල කරාමය, බඩු බාහිරාදිය තැන්පත් කරන පිළිවෙළ ගැනත් වාස්තු විද්‍යාවේ සඳහන්. නිවෙස තුළ පිහිටන සෑම අංගයක් ගැනම වෙන් වෙන් වශයෙන් මෙම විද්‍යාව තුළ කරුණු දක්වා ඇත්තේ නිවැසියන්ගේ සුබ සිද්ධිය සඳහාමයි.

ඉතින්, කුස්සියේ පිහිටීම, එහි ඇතුළත අංග පිහිටීම හෝ ඉහත කී පරිදි පෑල දොරේ පිහිටීම සිදුව ඇත්තේ යම් වැරැදි ආකාරයකට නම් එහි දෝෂ තත්ත්වය වැඩිපුර බලපාන්නේ ගෘහණියටයි. මෙවැනි විශාල දායකත්වයක් වාස්තු විද්‍යාවට ලබා දෙන පෑල දොරේ නිවැරැදි බව ගැන ඇත්තටම ඔබ දැනුවත් ද? මේ කාරණා අපි දැන් එකින් එක ගැන පැහැදිලි කර ගනිමු.

පුරාණ චාරිත්‍ර

නිවෙසට සුවඳ දුම් අල්ලන විට ප්‍රධාන දොරට මෙන්ම කුස්සියේ දොරට ද දුම් ඇල්ලීමේ චාරිත්‍රයක් පුරාණයේ තිබුණි. නිවෙස ඉදිරියේ ඇති මංගල දොරින් නිවෙසට එන සාමය, සෞභාග්‍යය, සතුට ආදියට පිටිවහලක් වන විශ්ව කිරණ නිවෙසේ නිරතුරු රැඳෙන්නේ දොරේ නිවැරැදි පිහිටීමෙන් බව පැරැන්නන් බොහෝ විට විශ්වාස කළ දෙයක්. මෙම විශ්වාසයන් මිත්‍යාවක් ලෙස බැහැර නොකර අපගේ සාර්ථකත්වයට ඉවහල් කර ගන්නා ආකාරය පිළිබඳ ව සිතීම වැදගත් දෙයක්.කුස්සියේ පිහිටන පිටතට යොමුවූ දොරේ වාස්තු විද්‍යාත්මක හොඳ - නරක ගැන කරුණු කීපයක් මෙලෙසින් දක්වන්න පුළුවන්.

2019/09/11 තරුණි බලන්න

 

උපදෙස්

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ