හිස් බිත්ති හැඩකරන්න කදිම රටා මවන රාක්ක

ඔක්තෝබර් 2, 2019

සිහින සැබෑ කරමින් හිතේ සතුට පුරවමින් නිවෙස ඉදිවුණා. පෙර නොවූ විරූ ලෙස සුරවිමනක් තරමටම එය අලංකාර කරගන්නයි දැන් වෙහෙසෙන්නේ. ඒ සඳහා විවිධ ආයිත්තම් සොයන ඔබට නවතම අදහසක් මෙලෙස ගෙන එනවා. “බිත්ති හැඩකරන්න කියාපු රාක්ක පෙළක්” දුටුවනම ඔබට හිතේවි.

නිකම්ම තියෙන හිස් බිත්තිය අලංකාර කරන්නටත් එමඟින් යම් ප්‍රයෝජනයක් ගන්නටත් හැකි නම් වඩාත් හොඳයි නේද? ඒ සඳහා ඔබේ හිතේ ඇඳුණු විදිහේ සරල රාක්ක පෙළක් මෙහි දැක්වෙනවා. මේවා බොක්ස් හැඩයේ රාක්කයි. සමචතුරස්‍ර හා සෘජුකෝණාස්‍ර රාක්ක ඒ අතර තියෙනවා. ඔබේ නිවෙසේ බිත්තිවල වර්ණයන්ට ගැළපෙන ලෙස මෙම රාක්ක සාදවා ගන්න. අප ඔබට ගෙන එන බොක්ස් රාක්ක සඳහා තෝරාගෙන තියෙන්නේ දීප්තිමත් කැපීපෙනෙන වර්ණයි. නිල්, කහ, තැඹිලි, කොළ, රෝස, රතු සහ කළු වර්ණ ඒ අතර වෙනවා. සෘජුකෝණාස්‍ර හැඩයන් සෙන්ටීමීටර් 22×42 ප්‍රමාණයේ ඒවා. ලොකුම සමචතුරස්‍ර සෙන්ටිමීටර් 25×25 ප්‍රමාණයේ ඒවා. ඊළඟ ප්‍රමාණයේ සමචතුරස්‍ර සෙන්ටිමීටර් 20×20. කුඩාම ප්‍රමාණයේ සමචතුරස්‍ර සෙන්ටිමීටර් 17×17 ප්‍රමාණයක් ගන්නවා. මේවා සකසා තියෙන ලී පටිවල ඝනකම සෙන්ටිමීටර් 1.9 ක් පමණ වෙනවා. ලී පටිවල පළල සෙන්ටිමීටර් 8ක් 10ක් පමණ වෙනවා. ඒ අනුව අවශ්‍ය කොටු ප්‍රමාණයක් සාදාගන්න. වඩු වැඩ කරන ස්ථානයකින් මේවා සාදාගත හැකියි. එලෙස සාදාගන්නා බොක්ස් ෆ්‍රේම් හෙවත් කොටු රාමු ඔබේ නිවෙසේ බිත්තිවලට ආලේපකර ඇති වර්ණයන්ට ගැළපෙන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ගන්න.

සමහර විට මෙලෙස වර්ණ ගැන්වූ බොක්ස් ෆ්‍රේම් ලීවලින් මෙන්ම වෙනත් ද්‍රව්‍යවලින් සකසා විකුණන්නත් තියෙනවා. ගෘහභාණ්ඩ හා නිවෙස් අලංකරණය කරන උපකරණ අලෙවිකරන ස්ථානවලින් විමසා බලන්න. ඉන්පසු ඇණ යොදා හෝ වෙනත් ක්‍රමයකට ලස්සන රටාවක් මැවෙන සේ මේ කොටු බිත්තියේ රදවා ගන්න. මෙහි දක්වා ඇති රටාවන් දෙස බලා මෙම රටාවන්ට හෝ ඔබේ සිතේ ඇඳුණු රටාවකට ඒවා රැඳවිය හැකියි. එමෙන්ම මෙම බොක්ස් විසිත්ත කාමරයට, විවෘත ආලින්දයට, නිදන කාමරයට, දරුවන්ගේ කාමරවලට මෙන්ම කෑම කාමරයට හා මුළුතැන්ගෙයටත් හරි අපූරුවට ගළපාගන්න පුළුවන්.

පොත්පත්, බෑග්, ඕනමන්ට්ස්, බෙහෙත් බෝතල්, මල් වාස්, පෑන් පැන්සල් රඳවන, කෝප්ප, ඉටිපන්දම් රඳවන ආදිය මේවායේ තබා ලස්සන පෙනුමක් ලබාගත හැකියි. අපි මෙවැනි තවත් ලස්සන රටාවන්ට සකසාගත හැකි රාක්ක මෝස්තර ඉදිරියේ දී ත් ඔබ වෙත තිළිණ කරන්නෙමු.