නිදහසේ කතාබහට ගෙවත්තේ ඉඩකඩක්

ඔක්තෝබර් 9, 2019

විඩාබර දවසක අවසානයේ එහෙමත් නැතිනම් වෙහෙසකර සතියක කෙළවර නිදහසේ හොඳ හුස්මක් ගන්නට අපි කවුරුත් දැඩි කැමැත්තක් දක්වන්නෙමු.

විශේෂයෙන්ම නිදහසේ තම පවුලේ සාමාජිකයන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට, සැඳෑ අසිරිය විඳගන්නට, පොතක් පතක් කියවාගන්නට මේ විවේකී මොහොත යොදාගන්නටයි අපේ කැමැත්ත වන්නේ.

ඉතින් ඒ වෙනුවෙන් ගෙවත්තේ පුංචි හෝ ඉඩකඩක් වෙන් කරගන්නට සැවොම උනන්දුවක් දක්වන අතර මේ උද්‍යානය අලංකාර කරන උද්‍යාන බංකු පිළිබඳයි අද අපේ කතාබහ.

සාමාන්‍යයෙන් ඉඩකඩ අවම කුඩා ගෙවත්තක වුවද උද්‍යානය සැලසුම් කිරීමේ දී මෙම උද්‍යාන බංකු වැනි කොන්ක්‍රීට් නිර්මාණ සඳහා ඉඩකඩ වෙන්කිරීම කළයුතු වේ. මෙහිදී ඉඩකඩ සීමිත බැවින් ඒවා නිසි ලෙස ස්ථානගත කළයුතු අතර එමඟින් උද්‍යානයේ සුන්දරත්වය වාගේම ඔබේ අවශ්‍යතාව ද මැනවින් සපුරා ගත හැකියි.

 

විවිධ බංකු

උද්‍යාන බංකු පිළිබඳ අපේ අවධානය යොමු කිරීමේ දී විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් තනන ලද බංකු දැකිය හැකියි. කොන්ක්‍රීට්, යකඩ,දැව, ෆයිබර් ආදී විවිධ අමුද්‍රව්‍ය ආශි‍්‍රතව, විවිධ හැඩතල අනුව තනාගත් මේ බංකු උද්‍යානයට අමුතුම චමත්කාරයක් රැගෙන එනවා නොඅනුමානයි.

අසුනේ පහසුව

ඇතැම් උද්‍යානවල තබා ඇති ආසන හුදෙක් අලංකාරය පිණිස පමණකැයි ඔබට සිතෙනු ඇත. මන්ද මේ බොහොමයක් බංකුවල පහසුවෙන් අසුන්ගත නොහැකි වේ. බොහෝවිට රළු මතුපිට සහිත බංකුවේ පහස ගතට අපහසුවක් ගෙනෙන අතර එමඟින් ඔබේ විවේකී නිදහස අහිමි වී යයි. එබැවින් කෙනකුට පහසුවෙන් අසුන් ගතහැකි පරිදි මේ ආසනය ඉදිකළ යුතු අතර එහි පහස ගතට සැහැල්ලු විය යුතු වේ.

ස්ථානගත කිරීම

එමෙන්ම බංකුවක් ස්ථානගත කිරීමේ දී එය ඔබට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක් විය යුතුය. මන්ද ඉඩකඩ ඇහිරී ගිය ස්ථානයක තැබූ බංකුවක් වෙත පහසුවෙන් ළඟාවිය නොහැකි අතර එවැනි ස්ථානයක කිහිපදෙනකුට සුහද පිළිසඳරක යෙදෙන්නට ද අපහසු වේ.

ඊට අමතරව ඔබ බංකුව තබන ස්ථානයට සෑමවිටම තදින් සූර්යාලෝකය පතිත වන්නේ නම් එවැනි ස්ථානයක වාඩි වී සිටිය හැක්කේ රාත්‍රී කාලයට පමණකි. එබැවින් ඔබ මේ අසුන් ස්ථානගත කිරීමේ දී එම ස්ථානය ගැනද සැලකිලිමත් වීම ඉතා වැදගත්.

අඩිපාර කෙළවරට

සාමාන්‍යයෙන් ස්ථාවර බංකුවක් තැබීමට ගෙමිදුල තුළ යම් ඉඩකඩක් තිබිය යුතුය. එසේ නොමැතිව ස්ථාවර බංකු තැබීමේ ඵල ප්‍රයෝජනයක් ලබාගත නොහැකිය. ගෙමිදුල හරහා වැටී ඇති අඩිපාරක කෙළවරට ඔබට බංකුවක් තැබිය හැකියි. එවිට අඩිපාර සකසා ඇත්තේ බංකුව වෙත ළඟාවීමට බව තේරුම්ගත හැකිය. එනම් අඩිපාර යෙදීමේ අරමුණ පැහැදිලි වේ.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ රංජිත් කළුආරච්චි

 

2019/10/09 තරුණි බලන්න