ඍෂිවරුන් කී නො ගැළපෙන ගෘහ ලක්ෂණ හා විපාක

ඔක්තෝබර් 23, 2019

වාස්තු ශාස්ත්‍රය කියන්නේ ඉතා ප්‍රායෝගික විද්‍යාවකි. ගෘහ ලක්ෂණ විද්‍යාව පිළිබඳ පුරාණයේ ඍෂිවරුන් කරුණු දක්වා තිබෙනවා. ඒ ඉතා ගැඹුරු පරාසයක ව්‍යාප්ත වන ආකාරයටයි.

අද කාලයේ එතරම් ගැඹුරට නොගියත්, නේවාසික පරිහරණය සඳහා පිළියෙල කරන නිවෙසක් සඳහා සැලකිය යුතු පරාසයක වාස්තු කරුණු ගැළපිය යුතුයි. මෙයට සමගාමීව ඉදිකිරීම් සඳහා නීති පද්ධතියක් අදාළ පළාත් පාලන ආයතන මඟින් ප්‍රකාශයට පත්කර ඇත්තේ ද අප සැමගේම යහපත පිණිසයි.

අද ලිපියෙන් සලකා බලන්නේ නො ගැළපෙන අංග ලක්ෂණ ඇති නිවාස ගැන පුරාණ ඍෂි මතය සහ ඒවායෙන් ඇතිවන ප්‍රතිඵල ගැනයි. මේවා හඳුන්වන නම් ඔබට නුහුරු විය හැකියි. අද කාලයේ මෙවැනි ඇතැම් ගෘහ ලක්ෂණ ඔබට දැකීමටත් නො ලැබේවි. නමුත් ඔබගේ වාස්තු දැනීමට අතීතයේ ඍෂිවරුන් කී මෙවන් ගෘහ ලක්ෂණ අධ්‍යයනය යම් ඌන පූර්ණයක් සපයාවි.

අන්ධක ගෘහය

නමේ අරුතින්ම ආලෝකය, වාතාශ්‍රය සඳහා ප්‍රමාණවත් ලෙස කවුළු තබා නොමැති ගෘහයකි. මේ ගෘහය නේවාසික පරිහරණය සඳහා කිසිසේත් සුදුසු නොවේ. මෙවන් නිවෙසක පදිංචි වුවන් හට අක්ෂි රෝග ඇතුළු විවිධාකාර අසනීප තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් පවතී.

කාන ගෘහය

ජනෙල් කවුළු නොමැතිව දොර කීපයක් පමණක් ඇති නිවෙසකි. මෙවන් නිවාස අද කාලයේ ඉතා අඩු නමුත්, ඉදිකර ඇති ස්ථාන ඇත. ඉහත සඳහන් කළ ආකාරයටම නිවැසියන්හට අක්ෂි ආබාධ ඇති වීමට හැකියාව පවතින අතර, බුද්ධි මට්ටම් ඌනතාවය සඳහා බලපෑ හැකි වාස්තු දෝෂයක් ලෙස පවතී.

කුබ්ජ ගෘහය

සම්මත ලෙස පැවතිය යුතු කිසිම ගෘහ අංගයක් නොමැතිව, දුටු පමණින්ම අවලක්ෂණව සහ නුහුරු ලෙස පවතින ගෘහයකි. සම්මතයෙන් බැහැර වීම තුළ නිවැසියන්ගේ වාසස්ථානය ලෙස බොහෝ කලක් භාවිත කිරීමෙන් ලේ විස වීමේ රෝග පවා ඇතිවිය හැකි බව වාස්තු විද්‍යාවේ සඳහන්.

බධීරක ගෘහය

නිවෙසේ බිම සහ අවට බිත්ති ආදියේ තැන් තැන්වල සිදුරු, කුහර, බෙන ආදිය ඇත්නම් එය නිවෙසකට ශුභ පල ගෙන නොදේ. ඉහත සඳහන් කළේ කටු මැටි ගැසූ සාමාන්‍ය වරිච්චි බිත්ති ගැන නොවේ. එයට වඩා වැඩිපුර සිදුරු පවතින ලෙස ඉදිකළ නිවාස ගැනයි. මෙවන් නිවෙසක පදිංචි අය හට නිතරම විවිධ දුක් පීඩා හෝ අවාසනාවන්ත කරුණු කාරණා ඇතිවිය හැකි බව වාස්තු විද්‍යාවේ සඳහන්.

දිග් වක්ත්‍ර ගෘහය

නිවෙසේ බිත්තිවල පමණක් ඉහත සඳහන් කළ ආකාරයට විශාල කුහර, සිදුරු දක්නට ඇති ගෘහය මෙලෙස හඳුන්වයි. අද කාලයේ නම් මෙවන් නිවාස දකින්නට විරල නමුත් අතීතයේ පැවත තිබේ. දරුවන් සම්බන්ධයෙන් යම් අනවශ්‍ය කරදර හෝ දුක් පීඩාවන් සඳහා මුහුණ දීමට හැකි දෝෂ ලක්ෂණ සහිත වන නිවාස වර්ගයකි.

රුධිර ගෘහය

නමේ අරුතින්ම ලේ සෙලවුණා වැනි අදහසක් ඇති වේ. ඉදිකරන ලද යම් නිවෙසක් හෝ එහි කොටසක් කුමන හේතුවක් නිසා හෝ කඩා වැටුණේ නම්, ගිනි ගැනීමට ලක්වුයේ නම් මෙනමින් පුරාණයේ හඳුන්වන ලදී. පදිංචි අයට සොර සතුරු පීඩාවන් නිතරම ඇතිවිය හැකියි. තවදුරටත් නිවැසියන් සිටින මට්ටමින් පහත් තත්ත්වයට පත් වීම, ස්ථානය හැරදමා යන්නට සිදු වීම හෝ නිදන්ගත රෝගයන් ඉස්මතු වීම ආදිය මෙවන් නිවෙසක දක්නට හැකි දෝෂ ප්‍රතිඵල ලෙස අර්ථ දක්වා තිබේ.

සිව්පිට ගෘහය

සම්මත ප්‍රමාණයන්ට වඩා උසින් අඩුවී මිටිව පිහිටි නිවාස මේ ගණයට අයත්. මෙවන් නිවෙස්හි ජීවත් වන්නවුන් සකසාගෙන ඇති ස්වාභාවික පරිසරයෙන්ම යම් නො ගැළපෙන චර්යා රටාවන්ට ඇබ්බැහි වීමට හැකියාවක් දැක්විය හැකියි. උදාහරණයක් ලෙස විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීම පෙන්වා දිය හැකියි.

 

 

උපදෙස්

සිවිල් ඉංජිනේරු,වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ

2019/10/23 තරුණි පුවත්පත බලන්න