නිවෙසේ ඉදිකරන පොකුණක වාස්තු ගැන දැනුවත් ද?

නොවැම්බර් 6, 2019

'පස් පියුමින් සුසැදි මනහර විල්' සිංහල සාහිත්‍යයේ කියැවෙන්නක්. ඔබත් එය අසා ඇති. ඒ විතරක් නොවේ. එවන් පොකුණක් ඉදිකර ගන්නට සිහින මවන්නත් ඇති. නෙළුම්, මානෙල්, නිල් මානෙල් ආදියෙන් සුපිපි විසිතුරු පොකුණක් තම ගෙමිදුලේ ඉදිකිරිම ස්වභාව ධර්මයට ළැදි අප කාගේත් සිහිනයක්.

තමා පදිංචි නිවෙසට කිසිම ආකාරයකින් දෝෂයක් නොවන්නට සෑදූ පොකුණක් නම්, එය වාස්තු සක්‍රියත්වය ඇති කරන්නට දායක වන ගෙමිදුලේ පිහිටන අංගයක් වෙනවා. නමුත් වැරැදියට, දෝෂ සහිතව හැදූ පොකුණක් මඟින් විවිධ වාස්තු දෝෂ ඇතිවන බව ඇතැම් විට ඔබ අසා නැතිව ඇති. අද ලිපියෙන් දෝෂ සිදුවෙන අවස්ථාවන් සහ ඒවා වළක්වා ගනිමින් පොකුණක් ඉදිකිරීමට හැකි වාස්තු සීමාවන් ගැන සරලව දැනගනිමු.

නිවැරැදිව සෑදූ පස් පියුමින් එක වර්ගයක් සහිත පොකුණක් මඟින් ගෙමිදුලේ කටු සහිත ශාකවලින් නිවෙසකට ඇතිවන වාස්තු දෝෂ භංග කිරීමේ හැකියාව පවතිනවා. ගෙමිදුලක අලංකාරය, ආකර්ෂණය යනාදිය වගේම දෝෂ නිවාරණයත් නිවැරැදි පොකුණකින් සිදුවුණාට, එහි පිහිටීම වැරැදියි නම් ඇතැම් විට ළිඳක් මඟින් ඇති කරන වාස්තු දෝෂ සඳහාත් හේතුවිය හැකියි. ගෙමිදුල සැලකූවිට එහි බිම් මට්ටමේ සහ ඉහළ ස්ථානවල ජලය ගබඩා කර තබා ගත හැකි දිශාවන් තියෙනවා. පොළොව මට්ටමේ දී ඉදිකළ ටැංකියක්, භූගත ටැංකියක්, ළිඳක්, පොකුණක් යන අංග සඳහා වඩාත්ම ගැළපෙන දිශාවන් ලෙස උතුර, ඊසාන, නැගෙනහිර හා බස්නාහිර තෝරා ගත හැකියි. බස්නාහිර දිශාව හා සම්බන්ධව විවිධ වාස්තු මත පැවතියත්, ඉහත කාරණාවන් සඳහා එය අහිතකර දිශාවක් නොවේ. පොළොවෙන් ඉහළ ඇති ටැංකි (ර්‍ණමඥපඩඥචඤ ඊචදඬඵ) සඳහා නිරිත දිශාව වඩා සුදුසුයි. ප්‍රායෝගිකව එම දිශාව තෝරා ගැනීමට නොහැකි අවස්ථාවල දී නිවෙසට ගැළපෙන පරිදි බස්නාහිර හෝ වයඹ දිශාවන් මේ සඳහා ගළපා ගන්න පුළුවන්.

ඇතැම් විට ඔබ කැමැති ඇති පදිංචි නිවෙස ඇතුළතම විසිතුරු පොකුණක් ඉදිකර ගැනීමට. වාස්තු විද්‍යාවට අනුව නිවෙසක් ඇතුළත මෙලෙස ඉදිකිරීම දෝෂ විය හැකි අවස්ථාවක්. තෙතමනය සහිත පසුබිමක් නිවෙස තුළ තිබීමෙන් සිසිලසක් ලැබුණාට සෙම් රෝග ආදියට එය බලපෑ හැකියි. පොකුණේ ගැඹුර මත දරුවන්ගේ අනාරක්‍ෂිත බව හා දිය සීරාව මඟින් වැඩිහිටියන්ට වුවද ලිස්සා වැටීම් සිදුවූ අවස්ථා අනන්තවත් අපි අසා ඇත්තෙමු. ප්‍රායෝගිකව මෙම කරණා ගැන ඔබේ අවධානය ඉතා අවශ්‍යයි.

වාස්තු විද්‍යාව අතින් බැලූ කල නිවෙසක් ඇතුළත මෙසේ වතුර රැඳෙන වළක් තිබීම අහිතකරයි. නිවෙස තුළ පොකුණක් ඉදිකිරීමට අත්‍යවශ්‍යයි නම් දෝෂ අවම වන ආකාරයට එය කළ හැකි ආකාරයක් තිබේ. ඉහත කී ප්‍රායෝගික අනතුරුදායක තත්ත්වය වළක්වා ගත යුතු ආකාරය මුලින්ම සිතන්න. නිවෙසේ වර්ගඵලයට සමානුපාතිකව ගැළපෙන සේ ඉහත කී දිශාවන් තෝරාගෙන සරලව, කුඩාවට පොකුණක් නිවෙස තුළ ඉදිකිරීමේ හැකියාවක් පවතී. වර්ග කරන ලද නිවෙසේ මධ්‍යයෙන් විහිදෙන රේඛා ජාලයට නො කැපෙන පරිදි අනිවාර්යයෙන්ම පොකුණ ස්ථාපනය කළ යුතුයි. බ්‍රහ්මපාද සීමාව මඟ හැරිය යුතුයි. පුරවන ලද ජලයට යම් චලනයක් සැපයිය යුතුයි. එකතැන රැඳෙන ජලය මඟින් නිවැසියන්ගේ දියුණුව අඩාල කරවන අතර යාන්ත්‍රිකව චක්‍රාකාරව යම් භ්‍රමණයක් ජලයට සැපයීම ඉතා වැදගත්. දෝෂ අවම කර ගැනීමට නිවෙස හා සම්බන්ධ අනෙක් වාස්තු කාරණාවන් ගැන අවධානය මෙහිදී අනිවාර්යය දෙයක්.

අපි නැවත වරක් නිවෙසින් පිටත ඉදිකරන පොකුණු ගැන සලකා බලමු. දිශාවන් ගැන පමණක් සැලකීම මෙහිදී ප්‍රමාණවත් නැහැ. ස්ථානීය වශයෙන් ඉඩමේ මුළුවල නොපිහිටිමත්, ඉඩමේ බ්‍රහ්මපාදයට හසු නොවීමත්, ඉහත කියූ පරිදි නිවෙසේ මධ්‍යයෙන් විහිදෙන රේඛා ජාලයට (කතිර රේඛාවන් හා එකතු කිරීමේ හැඩය ඇති රේඛාවන්) අමතරව ඉඩම හා සම්බන්ධ මෙකී මධ්‍ය රේඛා ජාලයට නොකැපීමත් ඉතා වැදගත්. නිවෙසේ මුළු වැටීම, මුදුන් ලී - යටලී - බාල්ක ආදිය එල්ල නොවීමත්, ප්‍රධාන දොර හා සම්බන්ධ වේධ දෝෂ නොවීමත් ගැන අවධානය යොමු කළ යුතුයි. සාමාන්‍ය ප්‍රමාණයේ ඉඩමක දී මේවා ගැන අවධානය යොමුකිරීම ඉතා අවශ්‍යයි. විශාල ඉඩමක දී නම් වාස්තු සීමාවක් යොදා නිවෙසට ඇතිවන බලපෑම අහෝසිකර ගැනීමේ ක්‍රමවේදයකුත් තිබෙනවා. වාස්තුවේදියකුගේ සහාය ඇතිව මේ සම්බන්ධව කටයුතු කිරීම ඔබට පහසුවක් වේවි.

පොකුණු ගැන කතා කරන විට පොළොව මත එක්රැස් වූ ජලය හෝ ගලා යන ජලය මඟින් නිවෙසකට දෝෂ ඇතිවීමේ හැකියාව පුළුල් ලෙස වාස්තු විද්‍යාවේ විග්‍රහ කර තිබේ. ප්‍රධාන දොර හා සම්බන්ධ වේද දෝෂයන් යටතේ ආකාර සතරක් පවතී. ළිඳක් ආකාරයට ජලය රැස් වීමෙන් ඇතිවන "කූප" වේද දෝෂයත්, පොකුණක් - ජලාශයක් ආකාරයට තිබී එය රෙදි සෝදන තැනක් ලෙස භාවිත කිරීම මගින් "රජක" වේදදෝෂයත්, ඉහත ආකාරයටම අත්හැර දැමූ පොකුණක් - මඩ වළක් පැවතීමෙන් "කර්දම" වේද දෝෂයත්, ඇළක් - දිය පාරක් වැනි යමක් නිවෙසට ඉදිරියෙන් වංගු ආකාරව ගමන් කිරීමෙන් "ජල නිර්ගමන" වේද දෝෂයත් ඇතිවේ.

ඔබට දැන් පොකුණක් ඉදිකරන්නට ආසාව තිබුණට දෝෂයක් නොවන්නට කටයුතු කිරීමේ වැදගත්කම හා වාස්තු විද්‍යාත්මකව ඒ සම්බන්ධයෙන් පවතින පරාසය ගැන සරල වැටහීමක් ලැබෙන්නට ඇති. නිවෙසට සිරිය ගෙනෙන, සිසිලස දෙන විසිතුරු පොකුණක් වාස්තු දෝෂ නොවී ඉදිකිරීම මඟින් අලංකාරය පමණක් නොව එය දකින විට ලැබෙන මානසික සහනය වාගේම දියුණුව උදෙසා ඇතිවන ධනාත්මක වාස්තු සක්‍රීයත්වයත් ඉතා වැදගත්.

උපදෙස්

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.