ශාකවලින් ගෙමිදුලේ නව හැඩතල හදමු

නොවැම්බර් 20, 2019

පිනි කැට වැටී දිදුලන සරුසාර තණ පලසත්, කොළ පැහැයෙන් බබළන අපූරු ගහකොළත් නෙතට එක්කරන්නේ සෞම්‍ය චමත්කාරයකි. ඒ සෞම්‍යබව නෙතට පමණක් නොව සිතට ද රැගෙන එන්නේ අපූර්ව මිහිරියාවකි.

නමුදු මේ සියල්ලෙහිම සුන්දරත්වය නිදහසේ විඳගන්නට නම් ඔබ සතුව මනරම් ගෙඋයනක් තිබිය යුතුමයි. විශේෂයෙන්ම කොළ පැහැති වටපිටාවක් සහිත ගෙමිදුල වඩාත් සොඳුරුබවක් උසුලන අතර, විවිධ ශාක හරි අපූරුවට ගළපා ගනිමින් මේ ගෙමිදුලට එකතු කිරීම හරහා මනරම් වටපිටාවක් සකසා ගත හැකියි.

ශාක කප්පාදුව

සාමාන්‍යයෙන් උද්‍යානයක් නිර්මාණය කිරීමේ දී ඊට අන්තර්ගත ශාකවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙහිදී ශාකවල අතු ඉති පැතිරීයාම වෙනස් කරගැනීමට ශාක කප්පාදු කිරීම සිදු කෙරෙන අතර පරිහරණයේ පහසුව උදෙසා ද ශාක කප්පාදුව සිදු කෙරේ.

එකී කප්පාදු කිරීම් සලකා බැලූවිට පහත සඳහන් අවස්ථා අපට හඳුනාගත හැකියි.

1. උද්‍යානයේ ඇති අනෙකුත් ශාකවල මනා වර්ධනය සඳහා ඉඩකඩ සපුරා ගැනීමට

2. ශාකයේ අතු ඉති දසත පැතිරී විශාලත්වය වැඩිවීම පාලනය කිරීමට

 3. ශාක නිසා ආවරණය වූ භූමියට හොඳින් සූර්යාලෝකය පතිත වීමට

 4. ශාක කප්පාදුව මඟින් ශාකයේ යම් යම් හැඩයන් නිර්මාණය කර එමඟින් ගෙමිදුලට සෞන්දර්යාත්මක චමත්කාරයක් එකතුකර ගැනීමට

 5. මල් පිපී ගෙඩි සෑදීමේ ප්‍රවණතාව වැඩි කිරීම සඳහා

 6. ශාක අලුත් කිරීමට. නව පෙනුමක් ලබාගැනීමට

 

මෙවැනි කරුණු කාරණා බොහොමයක් ශාක කප්පාදුව මඟින් ඉටු කරගත හැකි වුවද වර්තමානයේ නවීන උද්‍යානවලට නම් මෙය එකතු කරගෙන ඇත්තේ ඊට අපූරු පෙනුමක් එක්කර ගැනීමේ අරමුණෙනි.

ඔබත් ඔබගේ ගෙවත්තට වැඩි අලංකාරයක් ලබාගැනීම සඳහා ශාක පඳුරු කප්පාදු කරන්නට අදහස් කරන්නේ නම් ඒ සඳහා පහත සඳහන් ක්‍රම අතරින් එකක් තෝරා ගත යුතුය.

1. ශාකය සම්පූර්ණයෙන් ම කප්පාදු කිරීම

මෙහිදී පත්‍ර සහිත ඉහළට ඇදුණු අතු ඉති සියල්ල ඉවත් වන සේ ශාකයේ කඳ කොටස පමණක් ඉතිරි වන පරිද්දෙන් කප්පාදු කිරීම සිදු කරයි. එහිදී ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ඇණහිටින අතර පත්‍ර නොමැති නිසා ශාකයේ වර්ධනයට අවශ්‍ය ආහාර ලබාගැනීමට අංකුර සක්‍රීය වී ළා දලු වැඩීම සිදු වේ. මෙලෙස අලුතින් වැඩෙන නව දලු පත්‍ර බවට පරිවර්තනය වී ශාකයේ යම් හැඩයක් නිර්මාණය වේ.

2. සම මට්ටමේ කප්පාදුව

වැට මායිම්වලට මෙන්ම පාර දෙපස වවන දූරන්තා, එක්සෝරා, එක්සෝකේරියා, බැම්බෝ වර්ග (බට පඳුරු) ආදිය එක මට්ටමකට කැපීම මෙහිදී සිදු කෙරේ. එක මට්ටමක සිට පහළ පත්‍ර ඉතිරිවන අතර එම මට්ටමේ සිට ඉහළට වැඩුණු සහ වැඩෙන ශාකයේ සියලු කොටස් කපා දැමීම සිදු කරයි. කප්පාදුවෙන් පසුව මතුපිට ඉහළ කොටස මේසයක මෙන් සම මට්ටමක පවතින නිසා ඊට මේස කප්පාදුව යැයි ද කියනු ලැබේ.

3. ශේෂ කප්පාදුව

කෘෂි විද්‍යා මූලධර්ම අනුව ශාක වර්ධනයට අවශ්‍ය පිෂ්ටය වැඩි ප්‍රමාණයක් ශාකයේ රඳවාගෙන කළ හැකි කප්පාදු ක්‍රමයකි මේ. ශාකයේ කොටසක් ඉතිරිකර වැඩිීමට සලස්වා අනෙක් අතු ඉති පත්‍ර සම මට්ටමට කප්පාදු කරනු ලැබේ. මෙම ක්‍රමය වර්ධනය කරගනිමින් තට්ටු කිහිපයක් සිටින ලෙස ද සකස් කරගැනීමට ඔබට ද උත්සාහ කර බැලිය හැකියි. එය සැබැවින්ම සොඳුරු නිර්මාණයක් වේවි.

4. හැඩ කප්පාදුව

තම තමාගේ රුචිකත්වය අනුව අවශ්‍ය හැඩය තෝරාගෙන ඒ අනුව ශාකය කප්පාදුකර සකසා ගැනීමේ ක්‍රමයයි මේ හැඩ කප්පාදුව. යම් සෞන්දර්යාත්මක ස්වරූපයක් මතුකර ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයයි. ශාකයේ එක් ස්ථානයක් ඉහළ මට්ටමක ද තවත් ස්ථානයක් පහළින් ද සිටින හැඩයක් ලැබෙන සේ මෙන්ම උත්තල ආනතියක් සහිතවීම මෙහි ලක්ෂණ වේ. තවද රවුම් හැඩයක්, ත්‍රිකෝණාකාර හැඩයක් නිර්මාණශීලීව යොදාගැනීමට අවශ්‍ය වන පත්‍ර සහ අතු ඉති ප්‍රමාණවත් යැයි මෙහිදී පළමුව සෑහීමකට පත්විය යුතු වේ.

මෙලෙස විවිධ හැඩතලයන් මතුකර ගැනීමේ දී අවශ්‍ය පරිදි (කූඤ්ඤ) කුඩා ලී කෝටු සිටුවා ලණු ඇද ගැනීම කළ යුතුය. අනතුරුව ඒවා සීමා මායිම් ලෙස භාවිත කරමින් පහසුවෙන් හැඩතල කපා ගත හැකිය. මෙහිදී වෙළෙඳපොළේ දක්නට ලැබෙන තත්ත්වයෙන් බාල කප්පාදු කතුරු භාවිත නොකළයුතු අතර එමඟින් ඇතැම්විට නිවැරැදි කප්පාදුවක් සිදු කරගැනීමට අපහසු විය හැකි බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

උපදෙස් ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, ව්‍යාපාරික විසිතුරු මල් වගා

උපදේශක,

කෘෂි විද්‍යා ශූරී,

මාබොදලේ රංජිත් කළුආරච්චි

 

2019/11/20 තරුණි බලන්න