නිවෙසක අලංකාරයත් පිරිසුදු බවත් වැඩිකරන ටයිල්

නොවැම්බර් 27, 2019

සොඳුරු නිවෙස වඩාත් කලඑළි වන්නට නම් ඊට අපූරු ගෙබිමක් එකතු විය යුතුමයි. අතීතයේ දී නම් මේ ගෙබිම සිමෙන්තියෙන් නිම වූවද වර්තමානය වනවිට ටයිල්, ටෙරාසෝ, ග්‍රැනයිට්, ටයිටේනියම් වැනි විවිධ දෑ ඒ සඳහා යොදාගනී. ඒ අතරින් වැඩිදෙනකුගේ තෝරාගැනීම බවට පත්ව ඇත්තේ ටයිල් ගෙබිමයි.

එබැවින් නිවෙසකට ගැළපෙන ටයිල් තෝරාගැනීමේ දී වැඩි අවධානයක් යොමු කළයුතු කරුණු කිහිපයක් පිළිබඳ ඔබ දැනුවත් වීම ඉතා වැදගත්.

නිවෙසට අවශ්‍ය ටයිල් මිලදී ගැනීමට ප්‍රථම ඒවායින් ආවරණය වන ප්‍රදේශ අප පළමුව හඳුනාගත යුතුයි. එනම් සාලය, නිදන කාමර, මුළුතැන්ගෙය, නාන කාමර, බැල්කනි, ගරාජය, කොරිඩෝ වැනි ගෙතුළ සේම ගෙතුළින් පිටත ප්‍රදේශයන් කෙරෙහි මෙහිදී අපේ අවධානය යොමු කළයුතුයි. මන්ද එක් එක් ස්ථාන සඳහා ගැළපෙන ටයිල් වර්ග එකිනෙකට වෙනස්වන අතර ඒවායේ මතුපිට ස්වභාවය, වර්ණය, ප්‍රමාණය ආදිය සලකා බලා වඩාත්ම සුදුසු ඒවා තෝරාගත යුතු වේ.

 

නාන කාමරය

සාමාන්‍යයෙන් නිවෙසක ටයිල් භාවිතය අත්‍යවශ්‍ය ස්ථානය වන්නේ නාන කාමරයයි. මෙහිදී ගෙබිමට සේම බිත්තිවලට ද ටයිල් භාවිත කරන අතර ඒවාට ගැළපෙන ආකාරයේ ටයිල් තෝරාගැනීම ඉතා වැදගත්. එනම් නාන කාමරයේ ගෙබිමට භාවිත කළයුත්තේ ලිස්සා නොයන ආකාරයේත් තරමක් රළු ස්වභාවයේ ටයිල් වර්ගයි. මන්ද නාන කාමරයේ ගෙබිම යනු නිරන්තරයෙන් සබන් සහ ජලය පතිතවන ස්ථානයක් බැවින් තරමක රළු පොළවක් සකසා ගැනීම අත්‍යවශ්‍ය වේ.

නමුත් නාන කාමරයේ බිත්තිමත විසිරෙන ජලය, සබන් ආදිය සෑමවිටම පහළට ගලා ඒම අවශ්‍ය බැවින් බිත්ති සඳහා ඔබ තෝරාගත යුත්තේ මෘදු මතුපිටක් සහිත ටයිල් වර්ගයකි.

ඊට අමතරව නාන කාමරයට විවිධ තේමාවන් යටතේ නිර්මාණය කළ ටයිල් වර්ග ද ඔබට තෝරාගත හැකියි. එනම් මුහුද, අහස, වනාන්තර, ගංගා, ඇළ දොළ මේ ආදී තේමා යටතේ නිර්මාණය කළ ටයිල් වර්ග වෙළෙඳ පොළේ දැකගත හැකි අතර ඒවා නිවැරැදිව ගළපා සවි කරගැනීම ඉතා වැදගත්.

 

උපදෙස් ගොඩනැගිලි සේවා ඉංජිනේරු

කේ. ඒ. ඒ. කාරියවසම්

 

2019/11/27 තරුණි බලන්න