මනරම් දෙමහල් නිවහනක සැලසුමක්

ජනවාරි 1, 2020

අපේ ජීවිතේ අපේක්ෂා ගොන්නකින් පිරිලා...

තමුන්ගේම වාහනයක්, හොඳ අනාගත සහකරුවෙක් හෝ සහකාරියක්, දරුවන්ට හොඳ අනාගතයක්, ලස්සනම ලස්සන නිවහනක්..... මේ වගේ සිහිනවලින් පිරි ජීවිතේ අපේ අපේක්ෂා සියල්ලම එකවරම ඉටුකර ගැනීම අසීරුයි. හැබැයි අනාගතය ගැන සුබ සිහින දකින ඔබට මේ උදාවෙලා තිබෙන්නේ අපේක්ෂා ඉටුකර ගැනීමට හැකි නව වසරක්.

මේ වසරේ තිළිණ කරන නිවාස සැලසුම සම්මතයෙන් බැහැර වූ නවීන පන්නයේ නිවහනක්. දෙමහල් නිවෙසක් වූ මෙය මුලින්ම පහත මහල පමණක් නිමාකර පදිංචි විය හැකි ආකාරයේ සැලසුමකි.

දෙවැනි අදියර ලෙස ඔබ මෙම නිවෙසේ ඉහළ මහල සෑදීම සඳහා කටයුතු ආරම්භ කළ පසු තාවකාලික වහලය ඉවත්කර දෙවැනි අදියරේ කටයුතු නිමා කළ හැකියි.

මෙහි පහළ මහලේ විශාල කාමර දෙකකි. ඉන් එක් කාමරයක් කාර්යාල කාමරය ලෙස නම් කර තිබේ. තවත් එක් කාමරයක් දක්නට ඇත්තේ නිවෙස පසුපස සීමාවේය. එය මැද මිදුලක් ලෙස ඇති කොටසට විවෘතව තිබේ.

මැද වූ නාන කාමරය දෙපස කෑම කාමරයත්, මුළුතැන්ගෙයත් වෙයි. නිවෙසේ ඉදිරි කොටසේ වැරැන්ඩාවකි. එයට යාබදව රථ ගාලකි.

ඉහළ මහල ඉතාම සරලය. එහි නිදන කාමර දෙකකි. මැද සීමාවේ ටීවී ලොබියකි. මෙම කොටස් දෙකට අමතරව මෙහි ඇත්තේ නාන කාමරයක් පමණකි. මෙම සැලසුමේ ඉදිරි සැලසුම තරමක වෙනස් ආකෘතියක් අනුව නිර්මාණය වී තිබේ.

උපදෙස් කැදැල්ල හෝම්ස් හි
අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය
මහින්ද ඒකනායක

 

2020/01/01 තරුණි බලන්න