පුංචි ඉඩමකට කදිම සරල නිමාවේ සොඳුරු නිවහනක්

ජනවාරි 29, 2020

අපේ ජීවිතයට අරුතක් එක් කරන බොහෝ දේ තිබෙනවා. තමුන්ටම කියා පුංචි ගේ පොඩ්ඩක් කියන්නේ ජීවිතය සම්පූර්ණ කරන තවත් එක් සාධකයක්.

හැබැයි මේ බලාපොරොත්තුව ඉටු කරගන්න හැකියාව ලැබෙන්නේ ඔබ බුද්ධිමත්ව මේ කටයුත්තට මුල පිරුවොත් විතරයි. හැබැයි බොහෝ දෙනෙක් ගෙයක් හදන කටයුත්තට මුල පුරන්නේ හරිම උනන්දුවෙන්. ඒත් ඒ උනන්දුව ටික දවසකින් කඩා වැටෙනවා. මෙසේ වෙන්න හේතුවක් තිබෙනවා. තමුන්ගේ ආර්ථික මට්ටමට ඔරොත්තු නොදෙන සැලසුමක් නිර්මාණය කර ගැනීම. නැතිනම් ගෙයක් හදන කටයුතු ගැන දැනුමක් නොතිබීම.

මේ සියලු දෙයටම හොඳම විසඳුම තමයි නිවාස සැලසුම. මෙම සැලසුම සකස් කරන ශිල්පියා ඔබට ලබාදෙන නිර්මාණ සැලසුමේ නිවෙසක් තැනීමට වැයවන මුදල් ඇස්තමේන්තුව, නිවෙසේ අත්තිවාරම දමන ආකාරය, දොර ජනෙල්, වහලය ආදී සියලු විස්තර ඇතුළත්. නමුත් බොහෝ දෙනකුට මෙම සැලසුම් ගැන අවබෝධය හරිම අඩුයි. විශේෂයෙන්ම ගෘහණියකට මේ ගැන තුළ අවබෝධයක් තිබේ නම් එය නිවෙස තැනීමේ දී හරිම ප්‍රයෝජනවත්.

සතිපතා තරුණී පුවත්පතේ පළවන නිවාස සැලසුම් ගැන උනන්දුවක් දක්වන ඔබට තිළිණ කරන සැලසුම් ගැන පුංචි අදහසක් හෝ ලබාගන්නට පුළුවන් නම් එය ඔබගේ සිහින කැදැල්ල හදන දිනයක ඉතාම වටිනවා.

අප මෙවර තිළිණ කරන සැලසුම් නිර්මාණය වී ඇත්තේ පර්චස් 5.5 ක ඉඩමක. ගෘහ නිර්මාණ ශිල්පීය නීතියට අනුව නිවෙසක් තැනීමේ දී අවම වශයෙන් මේ තරම් ඉඩමක් ඔබට තිබිය යුතුයි. මෙහි පහත මහලේ තිබෙන්නේ එක් නිදන කාමරයකි. එයට අමතරව නාන කාමරයක් ද වෙයි. ඉදිරියෙන් රථ ගාලක් ඇති අතර සාලය, පැන්ට්‍රිය හා කෑම කාමරයකින් එය සම්පූර්ණ වී තිබේ. ඉදිරි සීමාව තුළ දිගු වැරැන්ඩාවක් දක්නට ලැබෙන අතර මෙම කුඩා නිවෙසට එය විශාල ආකර්ෂණයකි.

දෙමහල් නිවෙසක් වූ මෙහි දැන් අපි ඉහළ මහලට පිවිසෙමු. එහි කාමර දෙකකි. මැද සීමාව තුළ ටීවී ලොබියකි. එයට අමතරව නාන කාමරයක් ද වෙයි. මෙහි සෑම පැත්තකින්ම අවට දර්ශනය වන ආකාරයට බැල්කනි තුනකි. ටීවී ලොබියේ සිට බලන විට පහත සීමාව පෙනෙන ආකාරයට වූ හිස් අවකාශයෙන් පිරී ගිය ඉහළ මහල සම්පූර්ණ වී ඇත්තේ නිසල පරිසරයක් නිර්මාණය කරමිනි.

උපදෙස්

කැදැල්ල හෝම්ස් හි

අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

2020/01/29 තරුණි බලන්න