පර්චස් 6 ක පුංචි නිවහනක් ඉහළ මහල හරිම සරලයි

අඩක් නිමකර පදිංචි විය හැකි සැලසුමක්
මාර්තු 18, 2020

නිවෙසක විශාලත්වයට වඩා වැදගත් වන්නේ නිවෙසේ සැලසුමයි. අප තනන නිවහන කොයි තරම් කුඩා වුවත් එය දකින විට ෂා.... හරිම ලස්සන ගේ පොඩ්ඩ යැයි සැමගේ මුවඟින් පිටවෙයි නම් එය කෙතරම් ආඩම්බරයක් ද? අප ඔබට නිබඳවම මඟ පෙන්වන්නේ එවැනි නිවහනක් තනා ගන්නටය.

නිවෙසේ ප්‍රමාණයට වඩා එහි නිර්මාණ සැලසුම ගැන සිතන ඔබ කළයුත්තේ නිවෙසේ සියලු අංග නියම පිළිවෙළට ගළපා ගැනීමයි. එහිදී ඔබ වඩාත් අවධානයට යොමු කළ යුත්තේ නිවෙසේ අංග ස්ථානගත කර ඇති ආකාරයයි. එසේම එසේ ස්ථානගත කළ අංග ඔබට කෙතරම් ප්‍රයෝජනවත් දැයි සිතා බැලීම වඩාත් වැදගත්ය.

අප මෙවර ඔබට තිළිණ කරන සැලසුම දෙමහල් නිවෙසකි. පර්චස් 6-7 ක ප්‍රමාණයක තැනූ මෙම නිවහසේ ඉදිරිපස තරමක් විශාලය. එහි දිගු වැරැන්ඩාවකි. එම වැරැන්ඩාව දෙපස රථවාහන නවතා තබන්නට හැකි රථ ගාලක් ද වෙයි. ස්ථිරවම රථ ගාලක් ලෙස මෙහි නම් කර ඇත්තේ එක් රථගාලක් පමණකි. අනෙක් රථගාල වැරැන්ඩාවක් ලෙස පැවැතිය ද එය ද රථයක් නවතා තැබීමට තරම් ප්‍රමාණවත්ය.

ඔබට මෙහි පහත මහලේ නිදන කාමර දෙකක් හමුවෙයි. එසේම මැද සීමාවේ සාලයක් ද දක්නට ඇත. මෙම සාලයට විවෘතව කුඩා බිම් තීරුවක් ගෙවත්තට විවෘතවන ලෙසින් ඇත්තේ මැද මිදුලක් ආකාරයෙනි. නිවෙසේ පසුපස සීමාව මායිම්ව ඇත්තේ පැන්ට්‍රියක් හා නාන කාමරයකි.

අප දැන් පිවිසෙන්නේ මෙහි පළමු මහලටයි. එය තරමක් වෙනස් ආකෘතියකි. කාමර දෙකකින් සුසැදි ඉහළ මහල මැද කුඩා සීමාවක ටීවී ලොබියක් වෙයි. නාන කාමරයට අමතරව මෙහි වෙනස් කිසිම අංගයක් නොවෙයි. ඉදිරියෙන් වූ ටෙරසයක් වම් පැත්තෙන් වූ ටෙරසයටත් අමතරව මැද විශාල සීමාවම පහත මහල දර්ශනය වන ආකාරයට විවෘත සීමාවක් ලෙසින් පිහිටයි.

මෙම නිවෙස සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට නොහැකි නම් ඒ සඳහා ඔබට විකල්පයක් ද තිබේ. ඔබ කළ යුත්තේ මෙම නිවෙසේ පහත මහල සම්පූර්ණයෙන් නිමකර පසුව දෙවැනි මහල දෙවැනි පියවර ලෙස නිම කිරීමයි. එය ආර්ථික ගැටලු ඇති නොවීමට ඔබට ද විසඳුමකි.

 

උපදෙස් කැදැල්ල හෝම්ස් හි

අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

 

2020/03/26 තරුණි බලන්න