වර්ග අඩි 4 ක ඉඩක දඹල වගාවක්

මැයි 6, 2020

අහම්බයකින් හෝ ලැබුණු නිවාඩුව ප්‍රයෝජනයට ගත් බොහෝදෙනකු දැන් වගාවට යොමු වෙලා. මහා පරිමාණයෙන් නොවුණත් එදිනෙදා නිවෙසේ පරිභෝජනයට අවශ්‍ය දේ වත් වගා කරගන්නයි මේ හැමදෙනාගේම අවශ්‍යතාව.

නමුත් “අනේ ඉතින් අපිට කෝ වගාවට ඉඩකඩ” කියලා මැසිවිලි නඟන අයත් නැතුවාම නොවේ. ඒ විදිහට මැසිවිලි නඟන අයටත් කුඩාවට හෝ තමන්ගේ බැල්කනියේ කොරිඩෝවේ වගාකරගත හැකි ආකාරයන් පසුගිය සතිවල අපි ඉදිරිපත් කළා ඔබට මතක ඇති.

ඒ වාගේම අද අපි කියාදෙන්නේ වර්ග අඩි 4 ක වාගේ පුංචි ඉඩකඩක දඹල වගාවක් කරන ආකාරයයි. ඔබේ පවුලේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට මෙහිදී දඹල ලබාගත හැකි අතර ඒවා වස විසෙන් තොරවීමත් ඉතා වැදගත්.

දඹල කියන්නේ විටමින් ඕ, කාබෝහයිඩ්‍රේට් වාගේම ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් අඩංගු එළවළුවකි. මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවා ඉහළ දැමීමේ හැකියාවක් පවතින මේ එළවළුවේ කරල්, දළු සේම අල පවා ආහාරයට ගතහැකි වේවි.

සාමාන්‍යයෙන් අපේ පාරම්පරික ගොවිතැනේ දී වගා කරන දඹල විශේෂය, අස්වැන්න ලබාදීමට වැඩි කාලයක් ගතවුවත් වර්තමානයේ දක්නට ලැබෙන වැඩි දියුණු කළ විශේෂ මාස 2 - 3 1/2 අතර කාලයේ දී අස්වැන්න ලබාදේ. කුඩාවට වැල් හැදෙන ‘ක්‍රිස්නා’ නම් වූ දම් පැහැති කරල් හටගන්නා ප්‍රභේදය, ඉ. ඹ්. ඉ. 40. ඉ. ඹ්.ඉ. 44, උ. ර්‍ථ. ඉ. 122 ආදී ප්‍රභේද මේ නව ප්‍රභේද වර්ග සඳහා උදාහරණයි.

බීජ ලබාගැනීම

වියළාගත් දඹල කරල්වලින් වගාව සඳහා බීජ ලබාගත හැකියි. මෙහිදී හොඳින් මේරුණු දඹල කරල් මඳ පවනේ වියළෙන්නට හැරීම මඟින් බීජ ලබාගත හැකි අතර වගා කිරීමට දිනකට පමණ පෙර ජලයේ බහා පෙඟෙන්නට හැරීම මත ඉක්මනින් මුල් අදින්නට පටන් ගනියි.

වගාබිම සැකසීම

වගාව සඳහා හොඳින් හිරුඑළිය වැටෙන ස්ථානයක් තෝරාගන්න. එහිදී පැත්තක දිග අඩි 02 ක් වශයෙන් ගෙන වර්ග අඩි 04 ක සීමාවක් ලකුණු කරගන්න. මෙහි කෙළවරවල් හතරේ අඩි 1 1/2 × 1 1/2 ප්‍රමාණයේ වළවල් හතරක් ද කපාගන්න. අනතුරුව එම වළවල්වල යටට කොළරොඩු, කොම්පෝස්ට් ආදිය දමා උඩින් මතුපිට පස් යොදාගන්න. මෙම පසෙහි වැලි ප්‍රමාණය අඩුබව හැඟේ නම් මාධ්‍යයට වැලි යම් ප්‍රමාණයක් කලවම් කරගැනීම වඩාත් සුදුසුය. ඊට හේතුව වන්නේ මෙම වළ තුළ ජලය රැඳීම හරහා බැක්ටීරියා හා හිටු මැරීමේ රෝග ආදියට ගොදුරු වීමට ඉඩ ඇති බැවිනි.

ආධාරක සැකසීම

 

මෙලෙස සකසාගත් වළවල් මැද්දෙන් අඩි 06 ක් පමණ උස සිටින සේ දඬු හතරක් සිටුවාගන්න. ඒ සඳහා වැටමාර, උණ පඳුරු, බට ලී වැනි දඬු යොදාගත හැකියි. ඒවායේ ඉහළින් හරහට ද දඬු කැබලි හතරක් බැඳගන්න. ඉන්පසුව කොහු ලණු දෙපැත්තට බැඳ ගැනීමෙන් පන්දලම සකසා ගත හැකියි. (රූපසටහනේ පෙනෙන පරිදි)

බීජ සිටුවීම

 

මෙලෙස සිටුවා ගත් දඬු කැබලි පාමුල, රැයක් පොඟවා ගත් දඹල බීජ 02 බැගින් (එක් දණ්ඩක් පාමුල බීජ දෙක බැගින්) සිටුවාගන්න. දින 2-3 ක් ගතවීත් පැළ බවට පත් නොවූ බීජ ඇත්නම් ඒ ස්ථාන සඳහා නැවත බීජ සිටුවන්න.

සාමාන්‍ය ආකාරයට දඹල වැල් ඉහළට ඇදෙන විට දඬුවට තබා බැඳගන්න. පන්දලම දක්වා වැල් ඇඳුණු පසු එම වැල් පන්දලම පුරා පැතිරී යනු ඇත. දඹල වැල් මුලට ගොම හෝ කුකුළු පොහොර, කොම්පෝස්ට් හෝ දිරායන කොළරොඩු දමන්න. නිවෙසින් ඉවතලන කුණු කසළවලින් ඔබට මෙම පොහොර සකසා ගත හැකියි. ඔබේ ගෙවත්තේ ඉඩකඩ සහිත නම් මෙවැනි ඒකක 02 ක් හෝ 03 ක් පමණ සකසා ගන්න.

වගා හානි

 

බොහෝදුරට දඹල වගාවේ හානි අවමය. පත්‍ර කන දළඹුවා, කරල් විදින පණුවා ඉඳහිට හානි කරනු දැකිය හැකි වුවත් වරින්වර වගාව පරීක්ෂා කිරීම හරහා ඔවුන් පහසුවෙන් පාලනය කළ හැකියි.

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි