නිවෙස සරසන සොබාදහමේ සොඳුරු හැඩතල

මැයි 13, 2020

සොඳුරු නිවහනක අසිරිය කියන්නේ එම ගෘහයේ ගෘහණියගේ නිර්මාණශීලීත්වයයි. මොනතරම් දුෂ්කර කාලයක දී වුව ඇය සිය නිවහන ලස්සනටත් පිළිවෙළටත් තබාගන්නට වෙහෙසේ. අද දවසේ දී අප මුහුණ දී ඇති තත්ත්වය අප පමණක් නොව මුළු ලෝකයම මුහුණ දුන්, මුහුණ දෙන අවදානම් කාලයකි.

මේ කාලයේ වුව තමන් වෙසෙන නිවහන ලස්සන කරන්න වෙහෙසෙන ළඳුන් අපමණයි. එවැනි සුවහසක් ළඳුන් වෙනුවෙන් තමන්ගේම දෑතින් කළ හැකි සරල නිර්මාණයකින් නිවහන ලස්සන කරන ආකාරය මෙලෙස ගෙන එන්නෙමු. මේ තියෙන්නේ කඩදාසි භාවිතයෙන් කළ මනරම් බිත්ති සැරසිලි සමූහයකි. මේවා Paper arts ලෙසින් හඳුන්වයි.

සොබාදහම අපට තිළණ කර ඇත්තේ අමිල අගනාකම්ය. ඒ අතර තුරුලතා මෙන්ම සත්ත්වයන් ද වෙයි. මේවායේ වටිනාකම තවත් හොඳින් පසක් කරගන්නට ගෘහයේ අලංකාරය සොබාදහමට අනුගත වෙමින් නිර්මාණය කළ හැකියි. හරිත පැහැය පතුරන විස්මිත රටාවන්ගෙන් අනූන තුරුපත් මොනතරම්දැයි මතකයට නගන්න. වර්ණවත් කුරුල්ලන්, කෘමීන් මෙන්ම බිම්මල් ද මේ සොබාදහමේ අනගිතම දායාදයන්ය. එවැනි තුරුපත්, කුරුලු හැඩතල ඔබේ නිවහනට කැන්දන සිරියාව මිල කළ නොහැකියි.

මෙවැනි ලස්සන නිර්මාණයක් කරන්න වර්ණවත් ඒෆෝ කඩදාසි, ඝනකම් කඩදාසි, ගම්, කතුරු, පාට පැන්සල් හෝ වර්ණ ගැන්විය හැකි වර්ණක ඔබ එකතුකර ගත යුතුයි. බලන්න, නිවෙසේ එවැනි ද්‍රව්‍ය පහසුවෙන් සොයාගත හැකියි. පාසල් යන දරුවන් ඉන්න නිවෙස්වල මේවා සුලබව ඇති දේවල්. මේ සඳහා පළමුව ඔබ කරන්නට යන නිර්මාණයේ දළ සටහනක් ඇඳගන්න. ඒ සටහනට අනුව අවශ්‍ය රූප කොටස් කොළයක හෝ කාඩ්බෝඩ්වල ඇඳගන්න. ඒවා භාවිතකර අවශ්‍ය කඩදාසිවලින් කොටස් කපා ගන්න. වර්ණවත් කොළ භාවිතයෙන් කැපූ හැඩතල නැවත වර්ණ ගැන්වීම අවශ්‍ය නොවේ. එහෙත් ඔබ සුදු පැහැයෙන් හැඩතල කපාගත්තේ නම් ඒවා අවශ්‍ය වර්ණ භාවිතකර වර්ණ ගන්වන්න. අපි කොළ පැහැයෙන් කපාගත් කොළ ගැන සිතමු. එවැනි විවිධ හැඩතලවල කොළ වර්ණ ගන්වා වියළාගන්න. පසුබිම සඳහා සුදු පැහැ කඩදාසි ගෙන හරි මැද වියළාගත් හැඩතලය අලවන්න. මෙලෙස අලවාගත් කොළ ඝනකම් කඩදාසිවලින් සකසාගත් රාමුවකට සම්බන්ධකර නැවත අලවාගන්න. එලෙස අලවාගත් කොළ හැඩතල කිහිපයක් එකට තබා මනරම් පෙනුමක් නිවෙසට එක්කරගත හැකියි. සත්ත්ව රූප, බිම්මල්, මල් ආදියට අවශ්‍ය වර්ණවලින් කොළ කපාගන්න.

කොටු රාමුවක් ගෙන පසුබිමට ගැළපෙන වර්ණවලින් කොළයක් කපා අලවන්න. ත්‍රිමාණ පෙනුමක් ගෙන එන ලෙස කපාගත් කුරුල්ලන්, මල්, කොළ ඉති පහළින් අලවන්න. නැවත එම දසුන පෙනෙන පරිදි යම් රටාවකට මැද කොටස කපා ඉවත් කළ කඩදාසි කොටසක් ගෙන උඩින් අලවන්න. මේ ලෙස විවිධ නිර්මාණ කරන්න ඔබේ හැකියාවත් උරගා බලන්න.