ප්‍රභේද බොහොමයක් ඇති තක්කාලි වගාවක් අරඹමු

ජුනි 3, 2020

ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපයේ හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල සාර්ථකව වගා කළ හැකි එළවළුවකි තක්කාලි. මෙය අපේ රටේ එළවළුවක් ලෙසින් භාවිත වුවද වෙනත් රටවල බොහෝවිට පරිභෝජනය කරන්නේ පලතුරක් ලෙසිනි.

තක්කාලි ප්‍රභේද කිහිපයක්ම තිබේ. එබැවින් වගාව සඳහා ඔබ කැමැති සහ වඩාත් සුදුසු ප්‍රභේදයක් තෝරා ගත හැකිය.

විහාර 2

මෙය දෙමුහුම් ප්‍රභේදයක් වන අතර ගෙඩියේ බර ග්‍රෑම් 65 ක් පමණ වේ. තද පොත්තක් සහිතයි.

තිළිණ

මෙය වැඩි අස්වැන්නක් ලබාදෙන ප්‍රභේදයක් වන අතර ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 90 ක් පමණ වේ. ගෙඩියේ බීජ ප්‍රමාණය ද අඩු ය .

රජිත

තැඹිලි පැහැති ගෙඩි හට ගනී. ගෙඩියක් ග්‍රෑම් 80ක් පමණ බරැතිය. පඳුරු ආකාරයෙන් වැඩෙන අතර හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.

කේ. ඩබ්ලිව්. ආර්. ( ඊ 62 )

බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දේ. පඳුරක් ආකාරයෙන් වැඩෙන අතර තක්කාලි ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 50 ක් පමණ වේ .

ගොරකා තක්කාලි

බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට හොඳීන් ඔරොත්තු දේ. ගෙඩියක බර ග්‍රෑම් 120 ක් පමණය .

ඊ 146

පඳුරු වශයෙන් වැඩේ. හිටුමැරීමේ හා වෛරස් රෝග වලට ඔරොත්තු දෙන අතර ගෙඩියක බර ග්‍රෑම් අනුවක් පමණය. තද පොත්තක් සහිත ගෙඩි හට ගනියි.

රෂ්මි

විශාල ගෙඩි හට ගැනෙන දෙමුහුම් ප්‍රභේදයකි. ගෙඩියක බර ග්‍රෑම් 180 ක් පමණ වේ.

භාතිය

ගෙඩියක බර ග්‍රෑම් 85 ක් පමණ වේ. ඝන පිට පොත්තක් ඇත. වැල් ස්වභාවයේ ශාකයක් ලෙසින් හටගනී. දීර්ඝ කාලයක් අස්වැන්න ලබාදේ. වෛරස් රෝග වලට ඔරොත්තු දේ .

කේ. සී. අයි.

පැතැලි ගෙඩි හටගනී. පඳුරක් ලෙස වැඩේ. ගෙඩි වැඩි කාලයක් තබා ගත හැකියි.

තරිඳු

ගෙඩියක බර ග්‍රෑම් 45 ක් පමණ වන අතර පැහැය තද රතු පාටයි. හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දේ .

තවාන් කිරීම

ඔබ නිවෙසේ එදිනෙදා පරිභෝජනය සඳහා තක්කාලි වගා කරන්නේ නම් සකස් කරගත් මල් පෝච්චියක බීජ තවාන් කළ හැකිය. නොඑසේනම් තවාන් පාත්ති සකස් කළ යුතු වේ.

සාමාන්‍යයෙන් අඩි 3 ක් පළල, අඟල් 6 ක් 8 ක් උස පාත්ති සකසා මතුපිට පස් හා කොම්පෝස්ට් කලවම් කර වගා මාධ්‍ය සකසා ගන්න. සෙන්ටි මීටර් 1/2 ක් පමණ ප්‍රමාණයක් පසට යටවන සේ බීජ අතුරා අතින් මතුපිට අතගාන්න. මෙහි ජලය බැසීම හොඳීන් සිදු විය යුතුය. ජලය දිනපතා සැපයීමත් අත්‍යවශ්‍ය වේ.

ඊට අමතරව අධික වැස්සෙන් සහ අධික හිරු එළියෙන් තවාන ආරක්ෂා කරගත යුතුය. සති 1 1/2 ක් පමණ යන විට එක ළඟින් පැළ වී ඇති බීජ ඉවත් කර ගත යුතුය. දින විස්සකින් පමණ සිටුවිය හැකි මට්ටමට පැමිණෙන අතර සිටුවීමට බඳුන් හෝ බිම සකසා පැළ ගලවා ගන්න.

පැළ ගැලවීමට දින තුනකට පමණ පෙර සිට ජලය දැමීම නතර කළහොත් පැළවල දැඩි ස්වභාවය රැකගත හැකිය.

වගාව

සහල් උර, කෘත්‍රිම ප්ලාස්ටික් බෑග් ආදියේ මෙන්ම ලොකු කුඩා විවිධ බඳුන්වල සහ ස්ථිර භූමියේ පාත්ති සකසා මෙම තක්කාලි වගාකළ හැකිය. ඔබ පාත්ති සකස් කරන්නේ නම් උස් පාත්ති සකසා ගත යුතුය. ඒ සඳහා ගොම, කුකුළු පොහොර, කොම්පෝස්ට් සමඟ මතුපිට පස් කලවම් කර ජීවානුහරණය කරගෙන වගා මාධ්‍ය සකසාගන්න. අඩි 2 1/2 ය 2 ප්‍රමාණයට පේළි සහ පැළ අතර පරතරය පිහිටන පරිදි වළවල් සකසා ගතයුතු අතර ඒවායේ තක්කාලි පැළ දෙක බැගින් සිටුවා ගන්න.

ඔබ රසායනික පොහොර යොදන්නේ නම් පළමු යෙදීම පාත්තිවල වළවල් වලට යොදන මාධ්‍ය හා කලවම් කර දින තුනක් පමණ ගිය පසු පැළ සිටුවා ගන්න. මේ සඳහා වී පැළ සඳහා යොදන මඩ පොහොර යොදා ගත හැකිය. නමුත් නිවෙසේ එදිනෙදා පරිභෝජනය සඳහා ඔබ තක්කාලි පැළ කිහිපයක් ගෙවත්තේ වගා කරන්නේ නම් එයට රසායනික පොහොර අවශ්‍ය නොවේ .

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.