වසරේ ඕනෑම කාලයක වගා කළ හැකි වම්බටු

ජුනි 24, 2020

එදිනෙදා පරිභෝජනය සඳහා ගෙමිදුලේ වගා කළ හැකි තවත් එළවළුවකි වම්බටු. විශේෂයෙන්ම ලේසියෙන්, පහසුවෙන් වගා කර ගත හැකි තක්කාලි, අමුමිරිස්, මෑ, බණ්ඩක්කා, ගොටුකොළ, කන්කුන්, මුකුණුවැන්න වැනි එළවළු, පලා අතරට මේ වම්බටු ද එකතු වේ.

සාමාන්‍යයෙන් ව්‍යාපාරික වගාවක් ලෙස ඔබ වම්බටු වගා කරන්නේ නම් වර්ෂාව ආරම්භයත් සමඟම එය වගා කිරීම යෝග්‍ය වේ. නමුත් එදිනෙදා පාවිච්චිය සඳහා ගෘහ ආශ්‍රිතව වම්බටු ගසක් දෙකක් වගා කරන්නේ නම් වසරේ ඕනෑම කාලයක එය කළ හැකි වේවි.

ප්‍රභේද

වම්බටු ප්‍රභේද කිහිපයකි. වගා කරන ප්‍රදේශය සහ රෝගවලට ඔරොත්තු දීම ආදී කරුණු අනුව ඔබේ ගෙවත්තට ගැළපෙන ප්‍රභේදයක් තෝරා ගැනීම කළ හැකිය.

එස්. එම්. 164 (ඉ.ර්. 164)

බැක්ටීරියා අංගමාරයට ඔරොත්තු දෙන ප්‍රභේදයකි. තෙත්, අතරමැදි සහ වියළි කලාපවලට හොඳීන් ගැළපේ. මේ ප්‍රභේදයේ දම් පැහැති සිලින්ඩරාකාර වම්බටු ඵල හට ගනියි.

තින්නවේලි දම්

තෙත් කලාපයට එතරම් සුදුසු නැත. මන්ද එහිදී හිටුමැරීමේ රෝගයට මෙම ප්‍රභේදය ගොදුරු විය හැකියි. මෙහි තද දම් පැහැයෙන් යුත් ගෙඩි සෑදෙයි.

පාදාගොඩ

බැක්ටීරියා අංගමාරයට ඔරොත්තු දෙන ප්‍රභේදයකි මේ. දම් පාට ඉරි ස්වභාවයක් සහිතව ඵල හට ගනියි. තෙත් සහ අතරමැදි කලාපයන්ට වඩාත් සුදුසු වේ.

අමන්දා

 

මෙය දෙමුහුන් ප්‍රභේදයකි. රෝග රැසකට ඔරොත්තු දීමේ හැකියාව සහිත මේ වම්බටුවල දම් පැහැති කරල් සෑදේ.

අංජලී

මෙය ද දෙමුහුන් ප්‍රභේදයකි. දම් පැහැති කරල් සෑදෙන අතර බැක්ටීරියා රෝග ඇතුළු රෝග වලට ඔරොත්තු වෙන ස්වභාවයක් ඇත.

තවාන් කිරීම

සාමාන්‍යයෙන් පළමුව වම්බටු පැළ සකස් කරගෙන පසුව වගා කිරීම කළ යුතු බැවින් බීජ තවාන් කිරීම අනිවාර්යය වේ. මෙහිදී ගොම හෝ කාබනික ද්‍රව්‍ය , රළු කොටස් ඉවත් කළ සියුම් පස් සමඟ කලවම් කර තවාන් මතුපිට සකසා ගත යුතුය. එමෙන්ම බීජ තවාන් දැමීමට පෙර තවාන් පාත්තිය ජීවානුහරණය කරගන්න.

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී,

විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.